2027 අයවැය මඟින් ව්‍යාපාර වර්ධනය, ආයෝජන සහ රැකියා උත්පාදනයට වැඩි අවස්ථා – මුදල් අමාත්‍යාංශ ලේකම්

2027 අයවැය මඟින් රටේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් පවත්වාගෙන යමින්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වර්ධනය, ආයෝජන පුළුල් කිරීම සහ රැකියා උත්පාදනය සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ඇති බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, AICPA & CIMA ශ්‍රී ලංකා ආයතනය විසින් “The 2027 Budget and Beyond: Navigating the Future of Business and Growth” යන තේමාව යටතේ පසුගිය 19 දින සංවිධානය කළ පශ්චාත් අයවැය සංවාදයට එක්වෙමිනි.

2025 සහ 2026 වසරවල අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිමය ප්‍රවේශය අඛණ්ඩව පවත්වාගෙන යමින්, 2027 අයවැය තුළින් ද ව්‍යාපාර, පුරවැසියන් සහ ආයෝජකයන්ට ඉදිරි වසර පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟීම අරමුණු කර ඇති බව භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති හඳුනාගැනීම සහ ප්‍රතිපාදන වෙන් කිරීම වඩාත් විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ සිදුකරන අතර, ව්‍යාපෘතිවල සූදානම, ශක්‍යතාව, ආර්ථික බලපෑම සහ ආර්ථිකයට එක් කරන වටිනාකම සැලකිල්ලට ගනිමින් ප්‍රමුඛතා තීරණය කරන බව ද ඒ මහතා පැවසීය.

රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා බදු අනුපාත ඉහළ නැංවීම වෙනුවට බදු පදනම පුළුල් කිරීම, ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ ඩිජිටල්කරණය හරහා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බව ද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කළේය. ඒ තුළින් අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් විධිමත් ආර්ථිකයට ක්‍රමානුකූලව එක් කරමින් ව්‍යාපාර සහ පුරවැසියන්ට රජය සමඟ කටයුතු කිරීම පහසු කිරීම අපේක්ෂා කෙරේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා 2027 වසරේ රුපියල් බිලියන 174ක මූල්‍ය සහායක් ලබාදී ඇති අතර, එමඟින් ව්‍යාපාරවල ධාරිතාව වැඩිදියුණු කිරීම, නව තාක්ෂණය සහ යන්ත්‍රෝපකරණ භාවිතය, උපදේශන සේවා ලබාගැනීම සහ අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම දිරිගැන්වීමට අපේක්ෂා කරන බව ඒ මහතා පැවසීය.

එමෙන්ම, 2027 වසරේ රුපියල් ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදම් ප්‍රතිපාදන ආර්ථිකයට සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයට ගලා යාම තුළින් ව්‍යාපාරවල ලාභදායීත්වය ඉහළ නැංවීම, ව්‍යාප්තිය සඳහා අවස්ථා සැලසීම සහ නව රැකියා බිහි කිරීම අපේක්ෂා කරන බව ද භාණ්ඩාගාර ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්ථිකය බාහිර කම්පනවලට මුහුණ දීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කරමින්, ආර්ථික ආරක්ෂණ සංචිත වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව අත්‍යවශ්‍ය බව ද ඒ මහතා අවධාරණය කළේය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, John Keells Holdings සමූහ මූල්‍ය අධ්‍යක්ෂ ගිහාන් කුරේ මහතා, Advocata ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා සහ KPMG ශ්‍රී ලංකා ප්‍රධාන බදු හා නියාමන නිලධාරී සුරේෂ් ආර්. අයි. පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website