දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිත ආරක්ෂණය වෙනුවෙන් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ඉහළ සාකච්ඡාවක්

දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිත ආරක්ෂණය සඳහා පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක් පසුගිය දා (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධීකරණ ප්‍රවේශයක් ඔස්සේ ජලය ආශ්‍රිත මරණ අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන ප්‍රයත්නයන්හි වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවල පසු විපරමක් ලෙස පැවති මෙම හමුවේදී, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිත ආරක්ෂණය සඳහා ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමේ බහුපාර්ශ්වික කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සහ යෝජිත ක්‍රියාමාර්ග සමාලෝචනය කරන ලදී.

මෙම සාකච්ඡාවේ සම සභාපතිත්වය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සමඟ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක විසින් දරන ලදී.

සාකච්ඡාවේ ආරම්භක අදහස් දැක්වීම සිදු කරමින්, රට තුළ ඉහළ යමින් පවතින ජලය ආශ්‍රිත මරණ සංඛ්‍යාව පිළිබඳව මා විසින් සහභාගි වූ  පිරිස දැනුවත් කරන ලදී. දියේ ගිලීම හුදෙක් සමාජීය ගැටලුවක් පමණක් නොව, සම්බන්ධීකරණය වූ ජාතික ප්‍රතිචාරයක් අවශ්‍ය වන ප්‍රධාන මහජන ආරක්ෂක හා ජාතික ආරක්ෂක ගැටලුවක් බව ද මා විසින් අවධාරණය කරන ලදී. පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් දිවයින පුරා දියේ ගිලීම් වැළැක්වීමේ සහ ජීවිත ආරක්ෂණ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ඵලදායී, තිරසාර හා විධිමත් බහු-විධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ කඩිනම් අවශ්‍යතාව ද  වැඩිදුරටත් මා අවධාරණය කරන ලදී.

අනතුරුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බහුපාර්ශ්වික කමිටුවේ සොයාගැනීම් සහ නිර්දේශ ඉදිරිපත් කරන ලද අතර, එහිදී ජාතික යාන්ත්‍රණය ස්ථාපිත කිරීම සඳහා යෝජිත රාමුව සහ මූලික ක්‍රියාකාරී සැලැස්ම පැහැදිලි කරන ලදී.

වෙරළබඩ ප්‍රදේශ, කලපු, අභ්‍යන්තර ජලාශ සහ අනෙකුත් ජල මාර්ග ආශ්‍රිතව පවතින අවදානම් පිළිබඳව එහිදී අවධානය යොමු වූ අතර, ඒ සඳහා අදාළ සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකාර ආයතන සම්බන්ධ කරගත් ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව අවධාරණය කරන ලදී.

යෝජිත මූලික තක්සේරුවේ කොටසක් ලෙස, දිවයින පුරා වෙරළබඩ ප්‍රදේශ සහ අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව අධි අවදානම් කලාප දහය බැගින් හඳුනා ගැනීමට කමිටුව නිර්දේශ කර තිබේ. මෙම තක්සේරුව මඟින් සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් දියේ ගිලීම් වැළැක්වීමේ සහ ජීවිත ආරක්ෂණ විධිවිධානවල පවතින අවදානම් හා අඩුපාඩු පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

හඳුනාගත් කාර්යයන් ක්‍රියාත්මක කිරීම පහසු කිරීම සහ සුදුසු වැළැක්වීමේ ක්‍රියාමාර්ග සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණික කාර්ය කණ්ඩායම් පහක් ස්ථාපිත කිරීමට ද කමිටුව යෝජනා කර තිබේ. ඵලදායී ජාතික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ මූලික පියවරක් ලෙස මෙම මූලික තක්සේරුව නියමු අදියරක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිත ආරක්ෂණය සම්බන්ධයෙන් වගකීම් දරන සියලුම ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් සම්බන්ධීකරණය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් සකස් කරන ලද මූලික ක්‍රියාකාරී සැලැස්මක් ද මෙහිදී සමාලෝචනය කරන ලදී. පවතින ආයතනික අඩුපාඩු, වගකීම්වල පවතින අතිච්ඡාදනයන් සහ වත්මන් විධිවිධානවල පවතින දුර්වලතා හඳුනා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.මේ සම්බන්ධයෙන් යෝජිත ජාතික යාන්ත්‍රණය සඳහා සමස්ත මඟපෙන්වීම, සම්බන්ධීකරණය සහ අධීක්ෂණය සැපයීම සඳහා විශේෂිත පාලන ආයතනයක් ස්ථාපිත කිරීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

තවද, ප්‍රජා මට්ටමේ සහභාගීත්වය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව, බිම් මට්ටමේදී වැළැක්වීමේ ක්‍රියාමාර්ග ඵලදායී ලෙස සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා දැනට ක්‍රියාත්මක මහජන ආරක්ෂක කමිටුවල සහාය ලබා ගැනීමත්, අදාළ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන් සක්‍රීයව සම්බන්ධ කර ගැනීමත් පිළිබඳව සාකච්ඡා කරන ලදී.

පාසල් දරුවන්, තරුණ ප්‍රජාව, ධීවර ප්‍රජාව සහ සංචාරක කර්මාන්තයේ නියුතු පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ක්‍රමානුකූල මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමේ වැදගත්කම ද කමිටුව විසින් අවධාරණය කරන ලදී.

මීට අමතරව, අනාගත පරපුර තුළ තිරසාර ජල ආරක්ෂණ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමේ දිගුකාලීන පියවරක් ලෙස, දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිත ආරක්ෂණය පිළිබඳ දැනුවත්භාවය ජාතික අධ්‍යාපන පද්ධතියට විශේෂයෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වල අත්‍යවශ්‍ය අංගයක් ලෙසඇතුළත් කිරීමේ යෝජනාව ද ඉදිරිපත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website