ලංකාවේ බස් සහ බලපත්‍ර ලබාදීම ගැන ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ලියාපදිංචි බස් රථ 7,130ක් පවතින නමුත් ධාවන තත්ත්වයේ පවතින්නේ බස් රථ 5000කට ආසන්න සංඛ්‍යාවක් බව මහමාර්ග සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය  ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

අද (05) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ කරුණු හෙළි කළේය.

“ලංකා ගමනාගමන මණ්ඩලය සතුව බස් රථ 7130ක් තිබෙනවා. ඉන් 6,987ක් සාමාන්‍ය බස් රථ වන අතර 143ක් සුඛෝපභෝගී බස් රථයි. කෙසේවෙතත් අදාළ බස් රථවලින් ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින්නේ බස් රථ 5,000ක පමණ ප්‍රමාණයක්” අමාත්‍යවරයා පැවසුවේය.

ශ්‍රී ලංකාව තුළ ධාවනය වන පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ අමාත්‍යවරයා පැවසුවේ, බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස්රථ 5,524ක් ද මධ්‍යම පළාත තුළ බස්රථ 2,433ක් ද දකුණු පළාත තුළ බස්රථ 1,326ක් ද උතුරු පළාතේ පෞද්ගලික බස්රථ 976ක් ද නැගෙනහිර පළාතේ බස්රථ 520ක් ද වයඹ පළාතේ බස්රථ 1,324ක් ද උතුරුමැද පළාතේ බස්රථ 509ක් ද ඌව පළාතේ බස්රථ 1,043ක් ද සබරගමුව පළාතේ බස්රථ 1,866ක් ද ධාවනය වන බවයි.

මෙහි දී රෝහිත අබේගුණවර්ධන මහතාගේ තෙවැනි ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලංකා ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා දක්වා පෞද්ගලික බස්රථ 2966කට බලපත්‍ර නිකුත් කර ඇති බවයි. ඒ අනුව සාමාන්‍ය සේවා බස්රථ 1,826ක්, අර්ධ සුඛෝපභෝගී බස්රථ 257ක්, සුභෝපභෝගී බස් රථ 651ක් සහ අධිසුඛෝපභෝගී බස්රථ 232ක් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව මහමාර්ග සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website