තිරිඟු පිටි මිල ඉහළ දැමීම පාරිභෝගික අධිකාරිය ප්‍රතික්ෂේප කරයි – නීතිමය පියවර ගන්නා බවත් කියයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පූර්ව දැනුම්දීමකින් හෝ එකඟතාවකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 13කින් ඉහළ දැමීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.

ඔහු වැඩි දුරටත් පැවසුවේ වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට දිවයින පුරා වැටලීම් කරන බවයි.

“ආනයනික සමාගම් විසින් තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බව අපි දැන ගත්තෙත් ඒ පුවත මාධ්‍යවල පළ වූ පසුවයි” සභාපතිවරයා පැවසුවේය.

“මේ කරුණ දැනගත් විගසම අපි තිරිඟු පිටි නිෂ්පාදනය කරන ආයතනවලට ඔවුන්ගේ මිල වැඩි කිරීමට හේතුව සහ මිල වැඩි කළා නම් ඒ කොපමණ මුදලකින් කියලා ඊමේල් පණිවුඩ මගින් තොරතුරු විමසීමක් කරලා තිබෙන්නේ” සභාපතිවරයා පැවසුවේය.

“අපගේ පනත අනුව තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් හැටියට නම් කරලා තියෙනවා. ඒ අනුව තිරිඟු පිටි මිල සංශෝධනය කරනවා නම් පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරලා, අපත් සමඟ සාකච්ඡා කරලා යම් එකඟතාවකට ඇවිල්ලා තමයි මිල ඉහළ දැමීමක් සිදුකළ යුතු වන්නේ. නමුත් මේ දක්වා එලෙස සාකච්ඡාවක් හෝ අපව දැනුම්වත් කිරීමක් හෝ සිදුවෙලා නැහැ. ඒ නිසා අප ඔවුන්ගෙන් නියමානුකූලව විමසීමක් කරලා අවශ්‍ය නීතිමය කටයුතු කරනවා. ඒ වගේම වැඩි  මිලට තිරිඟු පිටි අලෙවි කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා” සභාපතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website