අකුරණ ප්‍රදේශයේ මාරක රිය අනතුර සම්බන්ධව පොලිසියෙන් වැඩිදුර වාර්තාවක්

ඊයේ (19) උදෑසන අකුරණ ප්‍රදේශයේ මාරක රිය අනතුර සම්බන්ධ වැඩිදුර වාර්තාවක් අද (20) පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇත. එම වාර්තාව පහත පළ වේ.

ඊයේ (19) උදෑසන අලවතුගොඩ පොලිස් වසමේ මහනුවර මාතලේ ඒ 09 මාර්ගයේ අකුරණ 07 කනුව, කුරුගොඩ හන්දියේදී අලවතුගොඩ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ සිමෙන්ති කුඩු පටවා ප්‍රවාහනය කරන ලද බල්කර් ලොරි රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වූ වාහන කිහිපයකද ගැටී බල්කර් රථය පෙරලී සිදුවූ අනතුර සම්බන්ධව අලවතුගොඩ පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබයි.

අනතුරින් පුද්ගලයින් දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් තුවාලකරුවන් 06 දෙනෙකු මේවන විට මහනුවර හා අකුරණ රෝහල් වලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටී.

මරණකරුවන් වයස අවරුදු 38 හා 51 වයස්වල පසුවූ අලවතුගොඩ හා අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මරණකාරියන් අවුරුදු 16 හා 28 වයස්වල පසුවූ මාතලේ සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

මරණකරුවන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ මහනුවර රෝහලේදී සිදුකර මෘත ශරීර ඥාතීන් වෙත භාරදී ඇත. අනතුරට සම්බන්ධ වයස අවුරුදු 46 ක් වන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි බල්කර් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවටගෙන ඇත.

සැකකරු 2026.10.20 වන දින මහනුවර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. අලවතුගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website