
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සංස්කෘතික දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්‍රීක් සංස්කෘතික සංසදය එක්ව සංවිධාන කළ ‘අලුත් වැස්සක්‘ සංස්කෘතික උත්සවය සහ ප්‍රදර්ශනය ඊයේ (15) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. කලාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කළ මහනුවර දිස්ත්‍රික්කයේ කාලාකරුවන් අගයමින් සම්මාන ප්රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරිය අතින් මෙහිදී සිදු කෙරිණි.
රටක මාර්ග, ගොඩනැගිලි හා ආර්ථිකය දියුණු වන අතරම ජනතාවගේ අභ්‍යන්තර ජීවිතය ද සෞන්දර්යයෙන්, සංස්කෘතියෙන් සහ නිර්මාණශීලීත්වයෙන් පොහොසත් විය යුතු බවත්, සංවර්ධනය, භෞතික සම්පත්වල දියුණුවෙන් පමණක් මැනිය නොහැකි අතර, සහකම්පනය සහ හොඳ රසවින්දනයක් සහිත සමාජයක් ගොඩනැගීම නව පුනරුද යුගයේ ප්‍රධාන අපේක්ෂාව බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්‍රාමාත්‍යතුමිය මෙසේ ද පැවසුවාය.
“මහනුවර කියන්නේ අපේ රටේ ඓතිහාසික, කලාත්මක වගේම සංස්කෘතික උරුමයේ අගය හොඳින්ම අත්විඳින්න පුළුවන් තැනක්. ශ්‍රී දළදා මාලිගාව, ඇම්බැක්කේ ලී කැටයම්, දෙගල්දොරුවේ බිතුසිතුවම් වගේම උඩරට නර්තන සම්ප්‍රදායත්, පාණීභාරතයන්, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, මිනෙට් ද සිල්වා වැනි ප්‍රකට කලාකරුවන්ගේ දායකත්වයත් නිසා මහනුවරටම ආවේණික වුණු සංස්කෘතික අනන්‍යතාවයක් ගොඩනැගිලා තියෙනවා.
පසුගිය දවස්වල ඇතිවුණු ආපදා තත්ත්වයෙදි මහනුවර ජනතාව මුහුණ දුන්නු අමාරුකම්වලදී ගාල්ල, මාතර, කළුතර වැනි දිස්ත්‍රික්කවල ජනතාව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම දැක්වූ ඒ සහකම්පනයත්, කැපවීමත් ඇත්තටම අගය කරන්න ඕනේ.
ඒ වගේම මේ ආපදාවෙන් පස්සේ නැවත නැගී සිටින මහනුවර දිස්ත්‍රික්කයේ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම, හානි වුණු ගෙවල් අලුත්වැඩියා කිරීම සහ විනාශ වුණු ඓතිහාසික විහාරස්ථාන මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ප්‍රතිසංස්කරණය කිරීම වැනි වැඩකටයුතු මේ වෙනකොටත් වේගයෙන් කරගෙන යනවා.
අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් බලාපොරොත්තු වෙන්නේ වෘත්තීය දැනුමට විතරක් සීමා නොවී, කලාත්මක සංවේදීතාවය වගේම මානුෂීය ගුණාංගත් තියෙන හොඳ පරපුරක් බිහි කරන්න යැයි අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.











