‘මිනිසුන්ට අමතක වෙලා ගිය මනුෂ්‍යත්වය  නැවත ලබාදෙන්න පුළුවන් කලාවට පමණයි’ – ජේෂ්ඨ නීතිඥ ආචාර්ය තුෂාර ද  සිල්වා

ජේෂ්ඨ නීතිඥ ආචාර්ය තුෂාර ද  සිල්වා පසුගිය දා රුහුණු විශ්ව විද්‍යාලයීය  කලා උළෙලේදී  ‘කලාව හා ජීවිතය’ යන මැයෙන් පැවැත්වූ ප්‍රධාන දේශනය.

රටේ ප්‍රකට කවියෙක් තමන් ගැන කරපු හැඳින්වීමක සඳහන් කරලා තිබුණේ තමන් හිතේ පිච්චියක්වත් ඉතිරි කර නොගත් කවියෙක් විදියට.ඒ ප්‍රසිද්ධ කවියාගේ නම කියන්න යන්නේ නෑ මම. ඒ කියන්නේ ඔහු වෙස්සන්තර කවියෙක් ඔහු කියාගන්නා විදියට. බැලූ බැල්මට එම ප්‍රකාශය ඔහොම රොමෙන්ටික් සහ ප්‍රගතිශීලි විදියට පෙනුනත් මට හිතුනේ ඒක හරි ප්‍රතිගාමී බංකොලොත් ප්‍රකාශයක් කියලා. ඒ අපි සාමාන්‍ය දැනුම පාවිච්චි කළත් තමන්ට දෙන්න පුළුවන් වෙන්නේ තමන් සතුව තියෙන දෙයක් විතරයි. තමන් ළඟ නැති දෙයක් කොහොමද තව කෙනෙකුට දෙන්නේ.

භෞතික දේවල් නම් එහෙම පිටතට දුන්නහම තමන් ළඟ තියෙන භෞතික දේවල් ඉවර වෙන්න පුළුවන්. ඔබට මතක ඇති ජී බී සේනානායක ශූරීන්ගේ දුප්පතුන් නැති ලෝකය කෙටිකතාව. එහිදී කියනවා භෞතික දේ දුන්නහම තමන් සතුව තියෙන භෞතික දේ ඉවර වෙන්නත් පුළුවන්.ඒ දුන්නට කොච්චර දුන්නත් හිත පිරෙන්නෙ නෑ. හැබැයි අධ්‍යාත්මික සම්පත් නැත්නම් ආධ්‍යාත්මික උල්පත්  එහෙම සිඳී යන එකක් නෙවෙයි.

අපේ පැරණි සාහිත්‍යකරුවා එය තේරුම් අරගෙන තමයි කිව්වේ ‘පහනින් පහන් සිය ගණනක් දැල්වුව ද එපහන් සිලෙහි අළු අඩු නොව දිලෙන ලෙ ද’. අධ්‍යාත්මික සම්පත් බෙදාගන්න බෙදා ගන්න ඒ පෝෂණය වෙනවා වැඩිවර්ධනය වෙනවා.මම ඒ ප්‍රසිද්ධ කවියාගේ ප්‍රකාශය තෝරගත්තේ ඔබත් එක්ක කලාව හා ජීවිතය ගැන ටිකක් කතා කරන්න.

කලාව කියලා කියන්නේ මිනිසා භාවිතා කරන මාධ්‍යයක් සන්නිවේදන මාධ්‍යයක් නැත්නම් එක විෂයයක්.මේ වගේ විෂයයන් ගණනාවක් මිනිස් ජීවිතයට සම්බන්ධයි.කලාව වගේම ආගම නීතිය දර්ශනය ක්‍රීඩාව තර්ක ශාස්ත්‍රය දේශපාලනය මේ වගේ දේවල් තියෙනවා.අද නූතනයේ දියුණුවත් එක්ක විද්‍යාව මේ සියලු ක්ෂේත්‍ර පහු කරගෙන බොහෝ දුරක් ගිහිල්ලා තියෙනවා.විද්‍යාව හා ආගම අතර සම්බන්ධය දක්වන ඇල්බට් අයින්ස්ටයින් කිව්වේ හෘදයාංගම බවින් තොර විද්‍යාවත් ප්‍රඥාවෙන් තොර ආගමත් නිස්සාරයි කියල.

ආගම Religion  කියන අර්ථයෙන්  religio කියන ලතින් වචනයෙන් බිඳිලා ආපු එකක්. ඒ කියන්නේ බැඳ තබා ගැනීම කියන එක. දෙවියන් වහන්සේට බැඳ තබා ගැනීම කියන එක තමයි religion  කියන්නේ.

හැම ආගමික ශාස්තෘවරයෙක්ම දේශනා කළේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් වුණත් අද බහුල විදිහට ආගම නිසා මනුෂ්‍ය වර්ගයා විනාශ වෙන්න මිනිස් රුධිරය ගංගාවල් වගේ ගලා යන්න හේතු වූ බව ඉතිහාසය සාක්ෂි දරනවා. යුද්ධය හෙවත් කුකුළන් කෙටවීම කවර අර්ථයෙන් බැලුවත් මිනිස්කමට එරෙහිව සිද්ධවෙන දෙයක්. ඒක ඉන්දියාවේ පකිස්ථානයේ රුසියාවේ යුක්‍රේනයේ විතරක් නෙවෙයි ලංකාවේ සිද්ධ වුණත්  යුද්ධයෙන් ඉස්සෙල්ලම නැති වෙන්නේ මනුස්සකම.

අර මම පෙර සඳහන් කරපු නීතිය ගැනත් බරපතල ප්‍රශ්න තියෙනවා. නීතිය ගැන බරපතල විවේචනයක යෙදෙනවා මාටින් වික්‍රමසිංහයන් ඔහුගේ සෝවියට් දේශය නැගීම කියන කෘතියේදී ඔහු කිව්වේ මිනිසුන් සඳහා විය යුතු නීතිය ඇතැම් පණ්ඩිතයන් විසින් එය වෙනස් කර මිනිසුන් නීතිය වෙනුවෙන් ජීවත් විය යුතුය යන ප්‍රවාදය නිර්මාණය කළ බවයි.ඒ අනුව නීතිය  අභිධර්මයක් වෙලා මිනිසුන්ගෙන් ඈත්ව ගිය බවයි මට නික්ම සිංහයන් සඳහන් කරන්නේ.

මනුස්සකම කියල දෙයක් අපේ ජන වහරෙ තියෙනවා ඔබ දන්නවා ඇති.එය බොහෝ අරුත් සහිත වචනයක්.යහපත් බව, කරුණාවන්තකම,හෘදයාංගම බව මිත්‍රත්වය වැනි කරුණු රැසක් ඊට ඇතුළත් වෙනවා. ඒත් මනුෂ්‍ය ලෝකය තුළ නිරන්තරයෙන් මුහුණ දෙන ගැටලුව වෙන්නේ මනුෂ්‍යයන් තුළ මනුස්සකම හීන වෙලා යන එක නැති වෙන එක.ලෝකෙ මනුස්සකම නොනැසී පවත්වාගෙන යාම සඳහා ඉවහල් වන්නේ සොබා දහම. ඔබ අහල ඇති ගීතයක් ස්වභාව දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.

එවැනි කෙනෙක් මනුස්සකම ඇත්තෙක් වෙන්නත් බෑ.ස්වභාව දහම හැම විටම අපට මුණ නොගැසෙන නිසා සොබා දහමේ සැමරුන් මතකයේ රඳාගන්නට නම් ඒවා ප්‍රතිනිර්මාණය කරන්නට ඕන. ඒ විදියට සොබාදහම ප්‍රතිනිර්මාණයට තමයි අපි කලාව කියලා කියන්නේ.

කලාව කියලා කියන්නේ ආනන්දයෙන් ආරම්භ වෙලා ආනන්දය එලෙසින්ම පවත්වාගෙන යමින් ප්‍රඥාවෙන් අවසන් වෙන එකක්. කලාවේ අන්තර්ගත ආනන්දයත් ඉන් බිහිවන ප්‍රඥාවත් හඳුනා ගන්නට නම් රසාස්වාදනය අවශ්‍ය වෙනවා.

කොතරම් කාර්යක්ෂමව තමන්ගේ මී වදය නිර්මාණය කරන මීමැස්ස වුනත් අකාර්යක්ෂම අපි වගේ මිනිස්සුන්ට පරදින්නේ මිනිසා තමන්ගේ නිර්මාණයට පරිකල්පන ශක්තිය එකතු කරන නිසා කියලා කාල් මාක්ස් ප්‍රාග්ධනය නම් සිය ආර්ථික විද්‍යා ග්‍රන්ථයේ සඳහන් කරනවා.

රසවිඳීම කියන එකත් නිර්මාණකරණයේම කොටසක්. ආනන්දවර්ධන තමන්ගේ ධවන්‍යාලෝක ලෝචන කියන කෘතියේදී නිර්මාණ රස විඳින තැනැත්තා නැත්නම් රසිකයා සහෘදයෙක් විදියටයි දකින්නේ.

සහෘදයෙක් කියලා කියන්නේ සමාන හදවත් ඇති තැනැත්තෙක් බවට පත්වෙනවා නිර්මාණ රස විඳින තැනැත්තාත්. Hannah Arin කියන සමාජ විද්‍යාඥවරිය කියන enlarged mind කියන සංකල්පයත් මේ සහෘද කියන ආනන්දවර්ධනගේ සංකල්පයම තමයි.

නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් තේරුම් ගන්න නම්  ඒ රසිකයාත් පුහුණු කළ මනසක් තියෙන තැනැත්තෙක් වෙන්න ඕන.  කලාකෘතියක් කියලා කියන්නේ ඒ අර්ථයෙන් බැලුවහම එයින් දෙදෙනාම නැත්නම් දෙපාර්ශ්වයම පෝෂණය වෙනවා. දෙදෙනාම ගේම ජීවිත අවබෝධය පුළුල් වෙනවා.

පැරණි සංස්කෘත පඬිවරුනුත් කලාවේ මේ ජීවිත සම්බන්ධතාවය හඳුනාගෙන තිබුණා.භර්තෲහරී කියන සංස්කෘත කවියා ඔහුගේ නීති ශතකය කියන කෘතියේදී ඔහු කියන්නේ

‘සාහිත්‍ය සංගීත කලා විහීන‍ෙසාක්ෂාත් පශුපුච්ඡ විශාන හීනඃ – තෘණං න ඛාදං නපි ජීවමාන – තද්භාග්‍යදේයං පරමං පශුනාම්’. ඒ කියන්නේ සාහිත්‍ය සංගීත කලාව නොදන්නා තැනැත්තා අං හා කුර ඇති ගවයකුට සමානයි. ඔවුන් තණකොළ කන්නේ නෑ ගවයන්ගේ වාසනාවට කියලා.

ඒ පැරණි ඥානය තුළම ශාස්ත්‍රවන්තයත් අගය කළේ මේ විදියට.

‘ස්ව ගෲහේ පූජ්‍යතේ මුර්කඃ – ස්ව ග්‍රාම්‍යේ පූජ්‍යතේ ප්‍රභුඃ – ස්ව දේශේ  පූජ්‍යතේ රාජාඃ – විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ.’ ඒ කියන්නේ තමන්ගේ ගෙදර ඇතුලත මෝඩයා උනත් පූජාවට පත්වෙනවා.තමන්ගේ ගම ඇතුලේ ප්‍රභූවරයාත් ගෞරවයට ලක් වෙනවා.තමන්ගේ රට ඇතුලේ පාලකයා වුණත් පූජාවට පත්වෙනවා.ඒත් ශාස්ත්‍රවන්තයා

මුළු ලෝකයම මුළු විශ්වයේම ආදරයට ගෞරවයට පත්වෙනවා. කලාවේ සාහිත්‍ය විශේෂ ලක්ෂණයක් තමයි ඉඟිලෑම කියන එක.සාහිත්‍යයේ අපි ව්‍යංගාර්ථය කියන්නෙත් ඒකට. එයින් කෙලින්ම කියන්නේ නෑ සහෘදයාට නැත්නම් රසිකයාට හිතන්න යමක් ඉතුරු කරනවා. සහෘදයාගේ ප්‍රඥාව ආරම්භ වෙන්නෙත් එතනින්.

තවත් සංස්කෘත ශ්ලෝකයක සිංහල අර්ථය අරගෙන ඔබට එය පැහැදිලි කරන්න මට අවසර දෙන්න. තමන්ගේ පෙම්වතිය ගෙදර නතර කරලා නැව් නගින්න යන පෙම්වතාට පෙම්වතිය කියන්නේ ‘ඔබ යන්න,නොගිහින්ම බැරි නම් ඔබ යන්න,ඔබ යන්නේ කිනම් දේශයකටද මාගේ පුනරුප්පත්තියත් ඒ දේශයේම වේවා.’

මේ කියන්න යන්න කියන එක ද ?, නෑ නේ ඒ කියන්නේ ඔබ යන්න එපා.ඔබ ගියොතින් මම මැරෙනවා කියන එක. කෙලින්ම මම මැරෙනවා කියලා කිව්ව නම් මේ කාව්‍යෝක්තිය අපිට දැනෙන්නෙ නෑ. ව්‍යංගාර්ථයෙන් කිව්වම ඒ කාව්‍යෝක්තිය ඊට වඩා ප්‍රබලයි.

ජන කවියා නිර්මාණය කරපු යශෝධරාවතේ යසෝදරාව අපේ හිත තුළ සහකම්පනයක් ඇති කරනවා.ඒ යසෝදරාව තමන් ගැන හිතනවාට වඩා තමන් තනිකර ගිය සිද්ධාර්ථ ගැන හිතන නිසා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ දෙවොන්දරා සන් ට තම ජපන් පෙම්වතිය  දාලා එන්න වෙනකොට ඒක අපේ අත්දැකීමක් බවට පත්වෙනවා. විරාගයේ අරවින්ද අපේ හැඟීම් පිරිමදිනවා. අතහැරීමේ ප්‍රේමය අපට දැනෙන්න ගන්නවා.

මම අර මුලදි සඳහන් කළ මිනිස්සුන්ගෙන් ඈත්ව ගියපු මනුස්සකම අපේ ළඟට මේ නිර්මාණත් එක්ක එනවා. කලාකරුව මේ සන්නිවේදනය කරන්නේ ඇත්තටම සවිඥාණකව. එය අපේ ජීවිතයට මනුස්සකම කාන්දු කරවනවා.

නච්ච ගීත වාදිත විසූක දර්ශන කියලා කිව්වට පරමත්ත ජෝතිකා අටුවාව අනුව ඇල්හේනේ ගෙවිලියකගේ ගායනාවක් අහපු භික්ෂූන් හැට නමක් ඒ ගායනාව නිසා රහත් වෙනවා. මුල් කාලීන කලාකරුවා බුදුපිළිම නෙළුවේ නැත්තේ බුදුන් වහන්සේ කෙරෙහි තිබුණු ගෞරව සම්ප්‍රයුක්ත බය නිසා කියල තමයි මාර්ටින් වික්‍රමසිංහයන් කියන්නේ. මං හිතන්නේ එතුමා එහෙම කිව්වත් ඒක නිවැරදි ස්ථාවරය නෙමෙයි.ඇත්තටම බුදුපිළිම නෙළුවෙ නැත්තේ අපේ පරණ කලාකරුවා බුද්ධත්වයට පත් වූයේ බුදුන් වහන්සේගේ කායික ශරීරය නොවන බවට  අපේ පැරැණි කලාකරුව තේරුම් අරන් තිබුණ නිසා.

ජාතක කතා පොත පරම්පරා ගණනාවකම අත්දැකීම් වල එකතුවක්. ජීවිත කාලයම ජීවත් වෙලා ලබා ගන්න බැරි අත්දැකීම් එතන තියෙනවා.ඒවයෙන් අපේ ජීවිත පරිඤ්ඤාණය පුළුල් වෙනවා. කුස ජාතකය ඇසුරින් තමයි කව්සිළුමිණ  නිර්මාණය කළේ.

සස ජාතකය ඇසුරින් සසදාවත,මකාදේව ජාතකය ඇසුරින් මුව දෙව්දාවත,ජාතක පොත ආශ්‍රය කරගත් නිර්මාණ අදත් අපේ නිර්මාණකරුවන් අතින් බිහිවෙනවා.මනමේ නාට්‍ය බිහිවෙන්නේ  චුල්ල ධනුද්දර ජාතකය මුල්කරගෙන.සද්ධර්ම රත්නාවලිය, බුත්සරණ, ධර්ම කථා නෙවෙයි අපේ ජීවිත අවබෝධය පුළුල් කරන නිර්මාණ.

සමාධි බුදු පිළිමය, සඳකඩපහණ,ස්ථූප නිර්මාණය,ගෘහ නිර්මාණ ශිල්පය  මේ හැම කලා නිර්මාණ ශිල්පයක්ම එක හුයකින් එකට බැඳුනු නිර්මාණ වෙනවා. ඒ හැම එකක්ම මම කලින් කියපු විදියට ආනන්දයෙන් ආරම්භ වෙලා ප්‍රඥාව දක්වා අප ගෙන යන නිර්මාණ.අපට අමතක වුනු මිනිස්කම යළි මතක් කර දෙන නිර්මාණ.

මේ පදනමෙන් ගත්තහම නිර්මාණකරුව සහෘදයාට තිළිණ කරන්නේ ස්වකීය ආධ්‍යාත්මයමයි. ඒ ආධ්‍යාත්මයේ කොටසක් සහෘදයාගේ අත්දැකීම බවට පත්වෙනවා.

නිර්මාණකරුවන් තමන්ගේ ජීවිතය ගැන කතා කරපු අවස්ථාවල කලාව හා ජීවිතය අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හඳුනාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මාර්ටින් වික්‍රමසිංහ තමන්ගේ ජීවිත කතාව ලිව්වේ ‘උපන්දා සිට’ කියන කෘතියේ, සරත්චන්ද්‍රයන්ගේ ‘පින් ඇති සරසවි වරමක් දෙන්නේ’ කියන කෘතියේ. කේ ජයතිලකගේ ‘පුංචි පැලේ ගස වෙනා’ ජී බී සේනානායකගේ ‘විනිවිදිමි අඳුර’කියන කෘති කියෙව්වත් ඔබට එය අවබෝධ කරගන්න පුළුවන්.

නිර්මාණකරණය පිළිබඳ කොන්සතන්තීන් පවුස්තොව්ස්කිගේ  The Golden Rose කියන කෘතියේ නිර්මාණකරුවා සිය නිර්මාණ අත්දැකීම, නිර්මාණ ගැන ජීවිතය ගැන කියලා දෙන පාඩමක් වගේ.

සාමිත් කියන වයසක පාර අමදින්නාගේ කටහඬින් ඔහු ආදරය කරන තැනැත්තියට රන් රෝස මලක්…ඒ කියන්නේ තමන් ජීවිත කාලය පුරාම පැරිස් නගරයේ රන් භාණ්ඩ නිෂ්පාදනය කරන කඩ සාප්පු  ඉස්සරහ දූවිලි එක්ක තියෙන රං සුණු එකතු කරලා රන් රෝස මලක් හදලා දෙනවා. පවුස්තොව්ස්කි කියන්නේ නිර්මාණකරුවත් ඒ වගේ කියලා. ඒ වෙන මොනවත් නෙවෙයි නිර්මාණකරුවාගේ ආධ්‍යාත්මයම තමයි නිර්මාණකරුවා නිර්මාණයකින් එළි දක්වන්නේ.

ආජන්ටිනියානු ලේඛක  Carlos María Domínguez ගේ The House of Paper කෙටි නවකතාව පොත් හා මිනිස් ජීවිත අතර සම්බන්ධතාවය අවධාරණය කරනවා. ඔබ අහල ඇති සෞඛ්‍ය හා සම්බන්ධ පාඩම් වලදී රුධිර පාරවිලයනය කරනකොට ඒ ඒ අයට ගැලපෙන රුධිරය තමයි දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් ඒ රුධිරය ශරීරයෙන් ප්‍රතික්ෂේප කරනවා. එක් විදේශීය ලේඛකයෙක් කියලා තියෙනවා ඔබට රුධිරය අවශ්‍ය නම් කවියෙකුගේ රුධිරය ඕනම රුධිරකාන්ඩයකට ගැලපෙනවා කියලා.එය තරමක අතිශෝක්තියක් තමයි. ඒත් එහි තියෙන අදහස වෙන්නේ කවියෙක් ජාතියකට වර්ගයකට කුලයකට කොටු කරන්න බෑ කියන එක. ඒ අර්ථයෙන් ඔබට තේරෙනවා කවියෙකුට කලාකරුවෙකුට විශාල වශයෙන් සමාජ වගකීමක් තියෙන බව.

මම කලිනුත් අවධාරණය කළා වගේ එහි මුල් වගකීම වෙන්නේ මනුෂ්‍යයන්ට අමතක වෙමින් යන මිනිසත්කම ඔවුන්ට සිහිපත් කරලා දෙන එක. ඔබ පරිනාමය පිළිගන්නවා නම් අද වන විට මේ කතා කරන මගේ මට්ටමට නැත්නම් අහගෙන ඉන්න ඔබේ මට්ටමට අපේ බුද්ධිය දියුණු වෙන්න ස්වභාවධර්මයට වසර මිලියන හතරකට වඩා වැඩි කාලයක් ගතවෙලා තියෙනවා.

එසේ දියුණු කරපු මොළයට මුළු ලෝකයම විනාස කරන්න මම මේ කතාව කරන්න ගන්න කාලයට අඩු කාලයකදී කරන්න පුළුවන්. ඉන්දියානු ලේඛිකා අරුන්දති රෝයි වරක් උපකල්පනය කරපු විදියට ඉන්දියාවේ හා පකිස්ථානය තියෙන න්‍යෂ්ටික ශක්තියේ එකතුවම ප්‍රමාණවත්

ඇය කියන විදියට  ඔය විනාසය වෙන්න. එහිදී මේ පරම්පරාවෙ අපේ ජීවිත විතරක් නෙමෙයි අපේ උපදින්න  ඉන්න පරම්පරාවක් නැතිවෙනවා. මිනිස්සු විතරක් නෙමෙයි දෙපා සිවුපා සියලු ජීවීන්  නැතිවෙනවා. ඉතිරි වුනොත් ඉතිරි වෙන්නේ මීයෝ කැරපොත්තෝ වගේ සත්තු විතරයි. ඒ දුමාරය ඒ විනාශය පෘතුවියට විතරක් සීමා වෙන්නේ නෑ චන්ද්‍රයා දක්වාත් ගමන් කරනවා. එනිසා කිසිම මනුස්සයෙකුට සමාජයේ භේද බින්න වෙන එකිනෙකාට වෛර කරගන්න සමාජයකට පාර පෙන්නන්න අයිතියක් නෑ.

මම මේ කතාවෙදි වඩාත් ඉස්මතු කරන්න උත්සාහ කරපු මනුස්සකම තමයි කලාවේ නිර්ණායකය වෙන්න ඕන. ඒ නිසා තම හිතේ කිසිවක්  ඉතිරි කර ගත්තේ නැති,තම හිතේ පිච්චියක්වත් ඉතුරු කරගත්තේ නැති අර්ථයෙන් පුද්ගලයෙක් කවියෙක් කියලා පිළිගන්න සමාජයට පුළුවන්කමක් නෑ.

වර්ග භේදවාදය, වර්ණ භේදවාදය,  කුලවාදය, ජාතිවාදය ඒ වගේ මිනිස්සු වර්ග කරන අදහස් සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු වෙනවා. මනුස්සකම එකම නිර්ණායකය වෙන සමාජයක් බිහිකරන්න ඕන. ඒක කරන්න පුළුවන් කලාවට විතරයි.

ඔබ සමහරවිට අහලල ඇති ආරියවංශ රණවීර කවියාගේ වර්ණ භේදවාදය ගැන ලියපු කවියක් තියෙනවා. ඒ කවියේ මාතෘකාව ‘මහ මුගලන් තෙරණුවන්ට’

ඔබ කළුම කළු පාටයි – නිල්වන් යැයි කියන්නේ මූනිච්චාවට

හිත හොඳ කරන්නට – බුදුන් දකින්නට ආවේ එක විට

ඔබට හිමිවුනේ වමත – දකුණත රන්වන් පාඨ කෙනෙකුට

තෝරලා තෝරලා හුස්ම යනතුරුම – සොරුන් තඩි බෑවෙත් ඔබට

ඒ හින්දාම වෙන්න ඇති මම වදින්නේ ඔබට.

වර්ණ භේද වාදයට ලංකාවට වඩා ඉන්දියාව තුළ  ගැලවීමක් නෑ. හින්දු ධර්මය සමඟ වර්ණ භේදවාදය අනුලෝමීය විදියට වැඩී වර්ධනය වන බව පේනවා. මහත්මා ගාන්ධිටවත් ආනන්ද කුමාරස්වාමිටවත් එයට විසඳුමක් පිළිතුරක් සපයන්න බැරි වුණා. ආචාර්ය අම්බෙත්කාර් වැනි විද්වතෙක්ගේ ඉස්මතුවීම හුදු අහම්බයක් වගේ පේන්නේ ඒක නිසා. එරට අස්පර්ශයෙන් නැත්නම් පංචම කුලය වශයෙන් සලකන  දාලිත්වරු වෙනුවෙන්  මීනා කන්දසාමි Meena Kandasamy’s “Ultimate Questions” නම් රචනයේදී මෙහෙම ප්‍රශ්න කරනවා.

‘ද්විත්ව රූපී නැත ආත්මය – බමුණන් දෙවියන් එකමය

හැකිවේද මට අස්පර්ශනීය කුලයක උපන් දෙවියකු වන්නට’

ඒ මීනා කන්දස්වාමි

ඕෂෝ කියන්නේ ‘යහපත් මිනිසා දිව්‍ය ලෝක සොයාගෙන යන්නේ නෑ තමන් ඉන්න තැන දිව්‍ය ලෝකයක් කර ගන්නවා’ කියලා.

මහගම සේකර කවියා ප්‍රබුද්ධ කාව්‍යයේ කියන්නේ දෙවියකු වීමට ඇති හොඳම මග දෙවියකු යයි සිතා ජීවත් වීමයි. ඒ අර්ථයෙන් දෙවියා කියන්නේ අපි අපිම තමයි. දෙවියා නිර්මාණය කරෙත් මනුෂ්‍යයා විසින්. දෙවියන් කියන්නෙත් මනුෂ්‍යයන්ගේ තවත් එක් කලාකෘතියක්. අපි දිව්‍ය ලෝක හදාගන්නේ මේ ලෝකේ ගැන විශ්වාසයක් නැති වුනාම. සරත්චන්ද්‍රයන් කල්පනා ලෝකය කෘතියෙදිත් කියන්නේ ඊට සමාන අදහසක්. පවතින ලෝකයේ දුක්ඛ දෝමනස්ස දරාගන්න බැරි වුණාම

මිනිස්සු කල්පනා ලෝකවලට යනවා කියලා සරත්චන්ද්‍රයන් කියනවා කල්පනා ලෝකය කෘතියේදී.  ඒක තමයි ඔහු කියන විදියට කලාව කියලා කියන්නේ. මේ අදහස බොහොම ප්‍රතිගාමී අසත්‍ය එකක් කියලයි මහාචාර්ය සුචරිත ගම්ලත් කියන්නේ. එහෙමනම් ත්‍රයිලෝකපත්‍ර සේවනය කරලා,නැත්නම් අපි කියන විදියට ගංජාබීලා යන්නෙත් ඒ වගේ කල්පනා ලෝකයකට.හැබැයි ඒක යම් මොහොතකටයි තියෙන්නේ. ආපහු කඩන් වැටෙන්නේ හිටපු තැනටම නොවේද?, නැත්තං ඊටත් පල්ලෙහාට නොවේද?

ආචාර්ය ගම්ලත් කියන්නේ කල්පනාලෝකවලට යනවට වැඩිය කලාකරුවකුට ලොකු වගකීමක් තියෙනවා කියලයි. ඔහු ඒක කියන්නේ දේශපාලනික අර්ථයෙන්. අපේ ප්‍රධාන ඉස්මතු කිරීම වන කලාවේ ප්‍රධාන අරමුණ විය යුත්තේ මනුස්සකම කියන එක කියන කතාව මහාචාර්ය ගම්ලත්ගේ ඒ ස්ථාවරයෙනුත් පැහැදිලි වෙනවා. ඒ මනුස්සකමේ මහා පොදු සාධකයත් එක්ක කවුරුත් පහත් කරන්න බෑ,අත්තුක්කංසන පරවම්බන කරන්න බෑ. මහා භාරත නාට්‍ය මාලාව අවසානයේ චිර රාඥ්ඥ සෘෂිවරු සඳහන් කරන්නේ යම් සමාජයක්  එරට කාන්තාවන්ට සලකන විදිය  එරටේ ස්වභාවය දැනගන්න පුළුවන් විදියේ නිර්ණායකයක් කියලා.

මට ඒ කරුණත් එක්ක මතක් වෙනවා ගුණදාස කපුගේ කියන කලාකරුවා. ඔහු ඉතා විශිෂ්ට ගණයේ ගීත ගායනා කරලා තියෙනවා. ඔබත් අහල ඇති ‘බිම්බරක් සෙනග ගැවසුන චන්ද්‍ර සූර්යයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ’,

‘සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන  – සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන’

මේ ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණ දේශපාලන විදියට ගත්තත් කලා කෘතියක් විදියට ගත්තත් ආනන්දයෙන් ආරම්භ වී  ආනන්දය එලෙසම රඳවා ගනිමින් ප්‍රඥාව කරා ගමන් කරන ඔහුගේ නිර්මාණ, කලාකෘති,මිනිස් කමින් පිරිපුන් නිර්මාණ.

හැබැයි එහෙම වුණාට ඒ අපූර්ව මිනිහටත් ඇතැම් වෙලාවක වැරදුනා. ඔබට මතක ඇති ඔහු කියනවා එක වෙලාවක ඔහු යම් කලක් ආදරය කරපු තරුණියට  ‘මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී’ කියලා.

මේක මනුස්සකම තියෙන කෙනෙකුට තමන් ආදරය කරපු කෙනෙකුට මල් යහනෙන් බැස පලයන් කියලා කියන්න පුළුවන්ද?, ඒත් එක්කම එක අවස්ථාවක කපුගේ තමන්ගේ පරණ ප්‍රේමවන්තියගේ අලුත් පෙම්වතාට කේලම් කියනවා

‘ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය මටද ආදරේ කියා තිබේ’. මේක මනුෂ්‍යත්වයද කියන කාරණය ගුණදාස කපුගේටට වුණත් වැරදුනාද කියන කාරණය කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. කලාකරුවෙක් අව්‍යාජ වෙන්න ඕන.මුනිච්චාවට හිත හොඳ වෙන්න කලාව කරන්නේ එපා. මහාචාර්ය සුචරිත ගම්ලතුන්ම කියනවා ඒ කාලේ ඉඳපු තරුණ කවියෙකුගේ එක කවියක් ගැන.

‘වැඩ කරන සොහොයුරනි – මම ඔබේ කටු සහිත අත සිඹිමි’ කියලා කවියක්.

ඒ කවියට මහාචාර්ය ගම්ලත් කියනවා. කවදාක්වත් ශ්‍රමය වර්ණනා කරන්න වන්දනාමාන කරන්න තියෙන දෙයක් නෙමෙයි. කළ යුතු එකම දේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබාදීම විතරයි.වර්ණනා කරන්න යන්නේ වන්දනා කරන්න යන්නේ වංචාකාරයෝ බොරු කාරයෝ කියලා.තමන් දේශනා කරන දේ තමන් පෙන්වා දෙන දේ තමන්ගේ අධ්‍යාත්මයෙ තියෙන්න ඕන.

එංගලන්තයේ ප්‍රැන්සිස් බේකන් මහා ප්‍රාඥයෙක්, චින්තකයෙක්, මුල් පෙලේ පඬිවරයෙක්, භාෂාව පිළිබඳ මහා පරිචයක් තිබුණ කෙනෙක්. ඔබ හොඳින්ම දන්න කියවීම මිනිසා සම්පූර්ණ කරයි‘ කියන කියමනත් ප්‍රැන්සිස් බේකන්ගේ එකක්.එයා මිනිසාගේ සදාචාර පැවැත්ම ඉතා ඉහළින් අගය කළ කෙනෙක්.

පැන්සිස් බේකන් ජීවත්වුණු මධ්‍යතන යුගයේ,16 වැනි සියවසේ පළමුවැනි ජේම්ස් රජතුමාගේ නීතිපතිවරයා විදියට ඔහු පත්වෙනවා.එහෙම පත්වුණාට පස්සේ තමයි ඔහුගේ චරිතය වෙනස්වීම පටන් ගන්නේ. ඔහු නීතිපතිවරයා උනහම  රජතුමාගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න රජතුමාගේ ක්‍රියාකලාපයට එකඟ නැති සමහර අයට වද හිංසා කරන්න ක්‍රියා කරනවා. ඒ එවක පැවති පොදු නීතියෙන් වද හිංසාව තහනම් බව ප්‍රැන්සිස් බේකන් හොදාකාරයෙන්ම දැන දැනත් එහෙම කරන්නේ.

සක්‍රීයව පැවැති නඩු කටයුතුවලදී රජතුමාට පක්ෂපාතිත්වය ලබාගන්න විනිශ්චකාරවරුන්ගේ නිල මැදිරිවලට හොරෙන් ගිහිල්ලා පවතින නඩු ගැන සාකච්ඡා කරනවා. අදත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා.ප්‍රැන්සිස් බේකන්ගේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය පසු කාලයේ එංගලන්තයේ හිටපු කීර්තිමත්  විනිශ්චකාරයකු වූ ඩෙනිම් ස්වාමිවරයා (Lord Denning) බරපතල විදියට විවේචනය කරනවා. එතුමා කියන්නේ එතුමා එංගලන්ත නෛතික ඉතිහාසය ගැන Landmarks in the Law කෘතියේ එතුමා සඳහන් කරන්නේ  ප්‍රැන්සිස් බේකන්ගේ මොලය රනින් නිමවී තිබුණද ඔහුගේ දෙපා නිමවී තිබුණේ මැටියෙන් බවයි.

මහාචාර්ය සරත්චන්ද්‍ර පින් ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියේ කියන විදියට මනමේ නාට්‍යය ඔහු ලියන්නේ ඔහුගේ බිරිඳ ඔහු අතහැර දාලා ගියපි වෙලාවේ. සිංහබාහු ලියන්නේ ඔහුගේ දරුවන් ඔහුට එරෙහි උන වෙලාවේ. කලාකෘති වලට පාදක වෙන්නෙත් අපේ ජීවිතම තමයි. ඒ අනුව අපි අපට සත්‍යවාදී විය යුතු වෙනවා.

මම වෘත්තියෙන් නීතිඥවරයෙක්. නීතිඥවරුන් බොරු කියන ජාතියක් කියලා මතයක්  තියෙනවා. හැබැයි මහත්මා ගාන්ධි ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා හිටියේ කවදාවත් බොරු නොකියන නීතිඥවරයෙක් විදියට. තමන් කියන දේ තමන් කරන දේ තමන්ගේ අධ්‍යාත්මයෙන්ම තියෙන්න ඕන.

ඔබ අහල ඇති Dr Jekyll and Mr Hyde.දොස්තර ජෙකිල් කියලා කියන්නේ හොඳ මහත්මයෙක් හොඳ වෛද්‍යවරයෙක්. නමුත් ඔහු හොයාගන්න බෙහෙතක් නිසාම mister hyde කියන නපුරු මිනිසා බවටම පත්වෙනවා. දවල් මිගෙල් රෑ දනියෙල් කලාකරුවෝ කියලා කියන්නෙත් අන්න ඒ වගේ අයට. එහෙම කෙනෙකුට නිර්මාණකරුවෙක් වෙන්න බෑ කලාකරුවෙක් වෙන්න බෑ.

මගේ කතාව අවසන් කරන්න තැනට මම දැන් යන්නේ. කලාව ගැන ඇති නිර්වචන පසුපස යා යුතු නැති වුණත්  ලියොන්  ට්‍රොස්කි කලාව ගැන කිව්වේ ‘කලාව මිනිසා සිය සබඳතා පාදාගන්නා මාර්ගයන්ගෙන් එකක්’ කියලා. කලාව නියාම පද්ධතියක් විදිහට නෙවෙයි කලාව සංකල්ප සමූහයක් මෙන් ඥානනය කරන්නාවූ විදියක්ද ඒ අතර ඇතැම් හැඟීම් හා මනෝගතීන්  පුබුදු කරන්නාවූ මාර්ගයක් කියලා ලියොන් ට්‍රොස්කි කිව්වෙ.

ඒ අතින් බැලුවහම ඇයි අපි කලාවෙ නිරත වෙන්නේ, ඇයි අපි කලාව උගන්වන්නේ,ඇයි අපි කලාව විෂයක් විදියට හදාරන්නේ, ඇයි කලාවේ වටිනාකම ගැන කතා කරන්නේ,මොකක්ද කලාවෙන් ජීවිතයට ලැබෙන්නේ ?

කලාව මගින් මිනිසාගේ හිත මෘදු වෙනවා. එම් මෘදු වුණහම තමයි වෙනස් කරන්නන පුළුවන් යම් කෙනෙක්ගේ ආධ්‍යාත්මය. ඕනම හයිය දෙයක් මෘදු උනාට පස්සේ ඒක වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි මහගමසේකර කියන්නේ මක් නිසාද යත් කෘතියේදී

“කොතරම් දැඩි හදක් –  වුවද යම් දවසක – දයා දියෙන් ආර්ද්‍ර වී – කදුළු සලන මොහොතක් ඇත

වීදුරු මිණක් සේ බබළන ඒ හදවත – ඒ මොහොතෙහි අත්ලට ගෙන බලනු මැනවි මේ මිහිපිට කිසිම දෙයක් ඒ තරමට සුන්දර නැත.”

ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ කලාව කියලා කියන්නේ මම අර කලින් කතා කරපු හැම විෂයකටම වඩා  විද්‍යාවට ගණිතයට දේශපාලනයට තර්ක ශාස්ත්‍රයට ආගමට වඩා මිනිස්කම ඇති කරන්න පුළුවන් මිනිසුන්ට අමතක වෙලා ගිය මනුෂ්‍යත්වය  නැවත ලබාදෙන්න පුළුවන් විෂය වෙන්නේ කලාව. ඒ නිසා තමයි කලාව අපේ ජීවිතයට වැදගත් වන්නේ. ඒක දේශපාලනයට වඩා, ආගමට වඩා, විද්‍යාවට වඩා, දර්ශනයට වඩා. ඒ මනුෂ්‍යකම ගේන්න පුළුවන් එකම විෂය  කලාව විතරයි. බොහොම ස්තුතියි ඔබට මගේ කතාව අහන් හිටියට.

සටහන  – අශෝක ප්‍රියන්ත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website