ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කිරීමට නියමිත නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම යෝජනාවට අල්ලස් එකඟතාවය පළ කර තිබෙන බව ද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර මහතා පැවසුවේය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් බණ්ඩාර මහතා තව දුරටත් මෙසේ ද පැවසුවේය,
“ස්වාමීනී, ඒ අනුව මෙම සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කරන්න තීරණය කර තිබෙනවා. අල්ලස් පනත සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ එකම අධි චෝදනා පත්‍රයක චෝදනා ඉදිරිපත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. එම අධිචෝදනා පත්‍රය කෙටුම්පත් කිරීම පවා අවසන් වෙලා තිබෙනවා. එය නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. මෙම සිද්ධිය තුළින් රාජ්‍යය කෙරෙහි ඇති වූ බලපෑම සැලකිල්ලට ගෙන අධිකරණ සංවිධාන පනතේ 12(අ)1(අ) වගන්තිය ප්‍රකාරව මෙම නඩුකරය විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අග විනිසුරුවරයා වෙත ඉල්ලීමක් සිදු කිරීම සුදුසු බව නීතිපතිවරයා නිගමනය කළා. ඊට එකඟතාවය පළ කර තිබෙන අල්ලස් කොමිසම අගවිනිසුරුතුමා වෙත අදාල ඉල්ලීම යොමු කිරීමට තීරණය කර තිබෙනවා. එම ඉල්ලීම මේ වන විටත් යොමු කර ඇතැයි මා විශ්වාස කරනවා. එසේ යොමු කර නැතිනම් අද හෝ හෙට දින තුළ එය යොමු කිරීමට එම කොමිසම කටයුතු කරයි,” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා සඳහන් කළේ ය.
මෙහි දී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සැකකරුට ඇප නියම කරන මෙන් ඉල්ලා සිටියේය.
“ස්වාමීනි, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු දැන් අවසන් වී තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. එසේ ම මෙම සැකකරුගේ මව සහ පියා රෝහල් ගතව තිබෙනවා. මෙම සුවිශේෂ කරුණු සලකා බලා සැකකරුට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටිනවා” ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.











