ඔබත් පරිසරයට ආදරේ නම් වන විනාශයන් ගැන තොරතුරු 1995ට වහාම දැනුම් දෙන්න – පරිසර ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක්

මෙරට සමස්ත පරිසර පද්ධතියම සුරක්ෂිත කර මතු පරපුරට දායාද කිරීම වෙනුවෙන් වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර  ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඉදිරිපත් කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය පැවසුවේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම මෙන්ම කඩොලාන සංරක්ෂණ හා තිරසාර භාවිතය පිළිබඳ ජාතික සැලැස්මට අනුව ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි.

පරිසර අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය,

මෙම වසර දෙක තුළදී පමණක් කඩොලාන වනාන්තර 20ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එම ප්‍රමාණය හෙක්ටයාර 460කට අධිකයි. විවෘත ආර්ථිකය, ඉස්සන් වගාව, සංචාරක කර්මාන්තය වේගවත් වීම සහ පරිසර නීති ක්‍රියාත්මක කිරීම දුර්වල වීම, දේශපාලන මැදිහත් වීම, අවිධිමත් සංවර්ධනය ආදී හේතු මත පසුගිය රජයන් සමයේ කඩොලාන පරිසර පද්ධතිය දඩි ලෙස තර්ජනයට ලක් වුණා. එම ගැටලු මේ වනවිට නිවැරදි කරගනිමින් නීති බලාත්මක කිරීම හායනයට පත් කඩොලාන පරිසර පද්ධති යළි ප්‍රතිෂ්ඨාපනය ආදී ක්‍රියාමාර්ග රැසක් පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරමින් සිටිනවා.

මෙරට සමස්ථ පරිසර පද්ධතියම සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වනස්පති ජාතික වැඩසටහනට සමගාමිව වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව වනාන්තර 113ක් රක්ෂිත ලෙස ගැසට් කර තිබෙනවා.

එමෙන්ම පරිසර අමාත්‍යංශය සහ ආරක්ෂක ආමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වන සුරැකුම ඒකකයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1995 අංකයට වන අපරාධ පිළිබඳ තොරතුරු කඩිනමින් යොමු කළ හැකියි. එය සැබවින්ම පරිසරයට ආදරය කරන සහ එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින්ගේ වගකීමක් වන අතර අදාළ ඒකකය තොරතුර මත කඩිනමින් ක්‍රියාත්මක වන බව ද පරිසර අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website