රාජ්‍ය විශ්වවිද්‍යා 27 තුළ පවතින නේවාසිකාගාර අර්බුදයේ සැබෑ කතාව අග්‍රාමාත්‍යවරිය හෙළි කරයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාල 22ක ඉගෙනුම ලබන සිසුන් 150,815 න් දැනට නවාතැන් පහසුකම් ඇත්තේ 63,318 කට පමණක් බව අගමැති හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (8) පාර්ලිමේන්තුවට පැවසුවාය.

ඇය වැඩි දුරටත් පැවසුවේ දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල නවාතැන් ගත හැක්කේ සිසුන්ගෙන් 42%කට පමණක් බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර පහසුකම් පිළිබඳව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රමාත්‍යවරිය මේ කරුණු හෙළි කළාය.

පාර්ලිමේන්තු පනත් යටතේ ස්ථාපිත කරන ලද භික්ෂු විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි අධ්‍යයන විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, සාගර විශ්වවිද්‍යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) යන විශ්වවිද්‍යාල වල නේවාසික පහසුකම් ගැන කරුණු හෙළි කළ අග්‍රාමාත්‍යවරිය මෙම විශ්ව විද්‍යාල පහෙහි ඒකාබද්ධ ශිෂ්‍ය ජනගහනය 15,098ක් වන නමුත් නේවාසිකාගාර පහසුකම් ඇත්තේ සිසුන් 1,841කට පමණක් බව අනාවරණය කළාය.

අග්‍රාමාත්‍යවරිය හෙළිකරන ලද කරුණු අනුව,

  • භික්ෂු විශ්වවිද්‍යාලයේ සිසුන් 465 දෙනාටම නේවාසිකාගාර පහසුකම් සපයා ඇත.
  • බෞද්ධ හා පාලි අධ්‍යයන විශ්වවිද්‍යාලයේ සිසුන් 551 දෙනාගෙන් 442 දෙනෙකුට නේවාසිකාගාර පහසුකම් ඇත.
  • සාගර විශ්ව විද්‍යාලයේ සිසුන් 1,516 ක් සිටින නමුත් නේවාසිකාගාර පහසුකම් ඇත්තේ 196 දෙනෙකුට හෙවත් 12.92% කට පමණි.
  • වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුන් 4,348 දෙනාගෙන් 332 දෙනෙකුට නේවාසිකාගාර පහසුකම් ඇත. නවාතැන් පහසුකම් ඇත්තේ කාන්තා ශිෂ්‍යාවන්ට පමණක් වන අතර පිරිමි සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් සපයා නොමැත.
  • ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) යෙහි සිසුන් 8,218ක් සිටින අතර ඔවුන්ගෙන් 406 දෙනෙකුට නේවාසිකාගාර නවාතැන් සපයා ඇත.

“රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුරා නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ගෙන් 42% කට පමණක් දැනට විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල නවාතැන් ගත හැකියි“ අගමැතිනිය පැවසුවාය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දැනටමත් ආරම්භ කර ඇති බවත්, මෙම ව්‍යාපෘතිය මඟින් අමතර සිසුන් 16,000ක් සඳහා නවාතැන් පහසුකම් සැලසීමට රජය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website