කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පසු අප ගත යුතු මග

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ හදවත් ප්‍රබෝධයට පත්කරවන මාසයක් ලෙස සැප්තැම්බර් හඳුනාගත හැකි වේ. එහි සුවිශේෂී දින කිහිපයක් තුළ දී ලේඛකයන්, පරිවර්තකයන්, ප්‍රකාශකයන්, පිටකවර නිර්මාණකරුවන්, සමග ළමා ලපටියන්ගේ සිට පාසල් හා උසස් අධ්‍යාපන ආයතනික සිසුන්, ආචාර්ය-මහාචාර්යවරුන් මෙන්ම පූජ්‍ය පක්ෂයද එකම භූමියකට එක්රොක් වන ආකර්ෂණීය පරිසරයක් කොළඹදී දැකගත හැකි වේ. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍ර යයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වනුයේ එම භූමිභාගයේ ය. වර්ෂ 1999 සිට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් අඛණ්ඩව සංවිධානය කරනු ලබන, එය මෙරට දැවැන්තම සංස්කෘතික මංගල්‍යය ලෙස හැඳින්විය හැකි වේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පාඨකයන් අතර මෙතරම් ජනප්‍රිය වන්නේ එය හුදෙක් පොත් අලෙවි කරන වෙළෙඳපොළක් නොවන නිසාය. ජාත්‍යන්තර ප්‍රකාශක සංගමය පවා තම වෙබ් අඩවිය ඔස්සේ වසරින් වසර විශාල පාඨක පිරිසක් ආකර්ෂණය කරගන්නා උත්සවයක් ලෙස කොළඹ පොත් ප්‍රදර්ශනය හඳුන්වා දී තිබීමෙන්ම එහි සාහිත්‍යමය වටිනාකම මැනවින් තහවුරු වේ.

කෙසේ වෙතත්, පොත් ප්‍රදර්ශනයකට පැමිණෙන සෑම අයෙකුම සාහිත්‍ය විචාරකයෙකු හෝ ගැඹුරු පාඨකයෙකු නොවන බව අප වටහාගත යුතුය. ඇතැමෙකු පැමිණෙන්නේ තම දරුවන්ට අවශ්‍ය පාසල් පොත්පත් හෝ චිත්‍ර කතා සොයා ගැනීමටය. තවත් අයෙකු නවකතාවක්, කෙටිකතා සංග්‍රහයක්, සූපවේද පොතක්, ආගමික ග්‍රන්ථයක් හෝ අලුත් ලේඛකයෙකුගේ කෘතියක් සොයයි. පොත් ප්‍රදර්ශනයේ සැබෑ සමාජ විද්‍යාත්මක වටිනාකම ඉස්මතු වන්නේ මෙන්න මේ නානාප්‍රකාර පාඨක අවශ්‍යතාවන් එකම පරිශ්‍රයකදී සපුරාගත හැකි බැවිනි. එමෙන්ම සැබෑ පොත් ප්‍රදර්ශනය ආරම්භ වන්නේ එහිදී අප මිලදී ගත් පොතේ පළමු පිටුව පෙරළන මොහොතේ බව අප වටහාගත යුතුය. එම පළමු පිටුවෙන් ඇරඹෙන කියවීමේ චාරිකාව පුද්ගලයාගේ චර්යාත්මක හැඩතල මෙන්ම ප්‍රභාස්වරයේ වපසරිය ද තීරණය කරනු ඇත.

ඩිජිටල් තාක්ෂණය

මෙවරද ප්‍රදර්ශන භූමියට පැමිණි විශාල ජනකාය සහතික කළේ, ඩිජිටල් තිර ස්පර්ශයෙන් බැහැර වූ කල්හි පොතපත තවමත් ශ්‍රී ලාංකේය සමාජයට තොරතුරු, දැනුම සහ අත්දැකීම් කාන්දු කරවන ප්‍රධානතම මාධ්‍යය බවයි. සුහුරු ජංගම දුරකථනවල ආගමනයත් සමඟ මෙරට පාඨක ප්‍රජාව පොතපතින් ඈත් වනු ඇතැයි පැවැති දැඩි කුකුස මෙයින් නිරාකරණය වේ. තාක්ෂණය පොතට එරෙහි සතුරෙකු නොව, පොතපත පාඨකයා වෙත ළඟා කරවන නව මාදියක් ලෙස භාවිත කළ හැකි බව ද පැහැදිලි වේ.

ඊ-පොත් , ශ්‍රව්‍ය පොත් , සමාජ මාධ්‍ය සහ TikTok සමාජ මාධ්‍ය වේදිකාව තුළ පොත් සහ සාහිත්‍යය කෙරෙහි අවධානය යොමු කරන උප-ප්‍රජාවක් වූ BookTok වැනි ඩිජිටල් අවකාශ වෙතින් මුද්‍රිත පොත මරා දමන්නේ නැත. ඒ වෙනුවට භෞතිකව පොත්හලකට යාමට නොහැකි ග්‍රාමීය පාඨකයාට පවා පොතපත ලබාගැනීමේ මාවත ඒ ඔස්සේ තවදුරටත් පුළුල් කරදී ඇත. එසේම මෙවර ප්‍රදර්ශනයේදී දක්නට ලැබුණු, පාඨකයන්ට අවශ්‍ය කුටි සොයා ගැනීමට සහාය වූ තරුණ වෙළඳ සහායක ප්‍රජාවගේ සහජීවනය ද මෙතෙක් ප්‍රකාශන ක්ෂේත්‍රයේ නොදුටු සුබවාදී සංඥාවක් සමාජයට එක්කාසුකර ඇත.

අභියෝග

ඒ කෙසේ වුවද ශ්‍රී ලාංකේය සාහිත්‍යයේ අනාගත ගමන්මග දෙස බැලීමේදී අප අනිවාර්යයෙන්ම අවධානය යොමුකළ යුතු අංශයක් වන්නේ සමකාලීන ආසියානු සාහිත්‍යය ගෝලීය තලයේදී ලබා ඇති දැවැන්ත ජයග්‍රහණයන්ය. ජපානය, දකුණු කොරියාව, චීනය සහ ඉන්දියාව වැනි රටවල ලේඛකයන් තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව, ඉතිහාසය සහ ආත්මීය අත්දැකීම් අත්නොහැර ඒවා විශ්වීය තේමාවන් බවට පත්කරමින් ගෝලීය පාඨක හදවත් මෙන්ම නොබෙල් සහ බුකර් වැනි ජාත්‍යන්තර සම්මාන ද දිනා ගැනීමට සමත් වී ඇත.

අපගේ සාහිත්‍යය දෙස බලන විට, වර්ෂ 2022 දී ශෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Maali Almeida කෘතිය බුකර් ත්‍යාගය දිනාගැනීමෙන් මෙන්ම කන්‍යා ඩි අල්මේදා වැනි ලේඛිකාවන්ගේ ජයග්‍රහණයන්ගෙන් තහවුරු වූයේ ලංකාවේ සංස්කෘතිය හා සමාජ යථාර්ථයන් පිළිබඳ  උසස් නිර්මාණ කියවීමට ලෝකය සූදානම් බවයි. නමුත් අභාග්‍යයට මෙන්, තනිපට ජාත්‍යන්තර ජයග්‍රහණ එකක් හෝ දෙකක් පෙන්වා සමස්ත දේශීය සාහිත්‍යයම ගෝලීයකරණය වී ඇතැයි අපට ස්වයං-වින්දනයක යෙදිය නොහැක. අසල්වැසි ආසියානු රටවල් මෙන්, අපගේ සිංහල හා දෙමළ උසස් කෘති ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරිමත්, ඒවා ජාත්‍යන්තර ප්‍රකාශකයන් සහ සාහිත්‍ය  නියෝජිතයන් (Literary Agents) වෙත යොමු කිරීමේත් විධිමත් ජාතික යාන්ත්‍රණයක් අප සතුව තවමත් නොමැතිවීම කණගාටුවට කරුණකි.

ව්‍යුහාත්මක අර්බුදය

එවැනි වටපිටාවක් යටතේ, වර්තමානයේ දී මෙරට මුද්‍රණ හා ප්‍රකාශන ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම තර්ජනය වන්නේ මූල්‍ය  අර්බුදයයි. ආනයන සීමා, වැට් සහ අයබදු යටතේ පොත්පත් මුද්‍රණ කඩදාසි, මුද්‍රණ තීන්ත, විදුලි ගාස්තු සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා පොතක තක්සේරු මිල අතිශයින් ඉහළයාම වළකාගත නොහැකි ගැටලුවක් වී ඇත.

පසුගිය වසරවලට සාපේක්ෂව පොත් මිල ඉහළ යාම නිසා පොත් දෙකතුනක් මිලදී ගැනීම පවා සාමාන්‍ය පුද්ගලයෙකුට දැරිය නොහැකි බරක් වී ඇත. පොතක් සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්වන සමාජයක කියවීමේ සංස්කෘතියක් පවත්වාගෙන යාම අතිශය දුෂ්කරය. ජපානය, දකුණු කොරියාව සහ වියට්නාමය වැනි රටවල් ස්වදේශීය ප්‍රකාශන කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙද්දී, ශ්‍රී ලංකාව මෙම ව්‍යුහාත්මක අර්බුදයේ ගිලී පැවතීම මහත් කනගාටුදායක තත්ත්වයකි.

එසේම ප්‍රබන්ධ හා ප්‍රබන්ධ නොවන කෘති අනවසරයෙන් මුද්‍රණය කිරීම, විකිණීම මෙන්ම PDF සහ ශ්‍රව්‍ය ගොනු ඇතුළු අනවසර පිටපත් සමාජ මාධ්‍ය හරහා බෙදාහැරීම වැනි බුද්ධිමය දේපළ උල්ලංඝනය කිරීම් මඟින් ලේඛකයාට සහ ප්‍රකාශකයාට ලැබිය යුතු ආදායම් මාර්ග මංකොල්ල කන ස්වරූපයක් ද රටතුල විද්‍යාමානවේ. විශේෂයෙන්ම බොහෝ පැරණි පරිවර්තිත විදෙස්  ග්‍රන්ථ නවමු මුහුණුවරකින් එළිදක්වා අලෙවි කිරීම කෙතරම් සදාචාරාත්මක ද යන්න විමසීමට කරුණකි. මෙවැනි කූඨ ක්‍රියා ලේඛකයන් මෙන්ම පරිවර්තකයන්ද සාහිත්‍යකරණයෙන් විතැන් කරවීමට හේතුකාරක වේ.

එමෙන්ම පසුගිය අවස්ථා කිහිපයකදී මෙන්ම මෙවර පොත් ප්‍රදර්ශනය ඇතුළු ඊට සමගාමී සාහිත්‍ය උත්සව සඳහා දේශපාලනඥයන් ප්‍රධාන ආරාධිතයන් ලෙස කැඳවීම මගින් ගම්‍ය වන්නේ දේශපාලන ප්‍රචාරණයන්ගෙන් සහ මතවාදයන්ගෙන් මිදුණු ස්වාධීන බුද්ධිමය අවකාශයක් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනැගිය යුතු බවකි. දේශපාලන මුහුණුවරින් බැහැරව, සැබෑ ලේඛකයන්ට, විද්වතුන්ට සහ පාඨකයන්ට මූලිකත්වය දීම මගින් සාහිත්‍ය ක්ෂේත්‍රයේ ගෞරවය සුරැකෙන අතර, එය දේශපාලනඥයින්ගේ ඥාණයට වඩා ඔබ්බට යන ප්‍රඥාවන්තයින්ගේ සෞන්දර්යාත්මක හැඩතල අගය කරන නූතන සමාජයේ ආකල්පමය පරිණාමය මැනවින් පිළිඹිබු කරනු ඇත.

ජාතික ක්‍රියාමාර්ග

එවැනි තත්ත්වයන් හමුවේ මෙරට සාහිත්‍යය සහ ප්‍රකාශන ක්ෂේත්‍රය මුහුණ දී ඇති ව්‍යුහාත්මක අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දීර්ඝකාලීන ජාතික මට්ටමේ සැලැස්මක අවශ්‍යතාව අප හමු‍වේ මතු වී තිබේ. මුද්‍රණය සඳහා භාවිතා කරන කඩදාසි සහ අනෙකුත් අමුද්‍රව්‍ය මත පනවා ඇති අධික බදු හා වැට් ප්‍රතිපත්තිය සංශෝධනය කළහොත් පොතපත සාමාන්‍ය ජනතාවට දැරිය හැකි සාධාරණ මිල මට්ටමක පවත්වා ගැනීමට හැකියාව උදාකෙරෙනු ඇත. එසේම, අධික පොත් මිල ගණන් හමුවේ කියවීමේ අවස්ථාව අහිමි වන අඩු ආදායම්ලාභී සිසුන් හා පාඨකයන් උදෙසා මහජන, ප්‍රාදේශීය සහ පාසල් පුස්තකාල නව පොතපතින් යාවත්කාලීන කිරීම සඳහා ජාතික අරමුදලක් පිහිටුවීම යුගයේ අවශ්‍යතාවක් බව පෙන්වා දෙමි. මීට අමතරව, සිංහල සහ දෙමළ භාෂා අතර පරිවර්තන සේවා විධිමත් කරමින්, උසස් දේශීය කෘති ජාත්‍යන්තර ප්‍රකාශකයන් හා ලෝක පොත් ප්‍රදර්ශන වෙත ගෙන යා හැකි වෘත්තීය ඉංග්‍රීසි පරිවර්තකයන්ගේ සහ සාහිත්‍ය නියෝජිතයන්ගේ (Literary Agents) ජාලයක් අප ගොඩනගාගත යුතු ද වේ. එමෙන්ම ඊ-පොත්, ශ්‍රව්‍ය පොත් සහ ඩිජිටල් පුස්තකාල වැනි නූතන තාක්ෂණික අවකාශයන් මුද්‍රිත පොත සමඟ සහජීවනයෙන් පවත්වා ගනිමින් තරුණ පරපුර ආකර්ෂණය කරගැනීමත්, බුද්ධිමය දේපළ උල්ලංඝනය කිරීම් වැළැක්වීමට නීතිය තදින් ක්‍රියාත්මක කරමින් ලේඛක අයිතීන් සුරකින සමාජීය අවබෝධයක් ඇති කිරීමත් මෙම ජාතික ක්‍රියාමාර්ග අතර ප්‍රමුඛ විය යුතුය.

සැබෑ කියවීම

අපගේ අවබෝධය අනුව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙරට සමාජයේ කියවීමේ ප්‍රවණතාව මැනිය හැකි එක් පැතිකඩකි. එමෙන්ම එය අපගේ ප්‍රකාශන කර්මාන්තයේ ව්‍යුහය මෙන්ම දුර්වලතාවයන්ද පෙන්වා දෙන විශාල වේදිකාවකි. ප්‍රදර්ශන භූමියේ දොරටු වැසී ගියද, එදිනින් පසු අපගේ කියවීමේ ගමන නතර නොවිය යුතුය. අපට අවශ්‍ය වන්නේ වසරකට එක් වතාවක් පමණක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට එක්රොක් වන ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පමණක්ම නොවේ. වසරේ දින 365 පුරාම කියවන, පොතපත අගය කරන බුද්ධිමත් ලාංකේය සමාජයකි. මන්ද, පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත් පොතේ පළමු පිටුව පෙරළන මොහොතේ සිටම ඇරඹෙන කියවීම අපගේ ජීවිත ආලෝකවත් කරනවා සේම, හෙට දිනයේ මුළු රටේම බුද්ධිමය සාක්ෂරතාවයද නිසැකවම වැඩිදියුණු කිරීමට එය ඉවහල්වනු ඇත.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ, මත්තේගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website