2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

2027 මුදල් වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද (ඔක්. 07) පළමුවර කියවීම සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

2027 මුදල් වර්ෂය සඳහා රජයේ සේවා වියදම් (රුපියල් හාරදහස් නමසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූ අට දහසක්) වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැලසීම සහ රජයට ණය ලබා ගැනීම සඳහා බලය ලබා දීම ඇතුළු කරුණු සඳහා මෙම විසර්ජන පනත් කෙටුම්පත මඟින් විධිවිධාන සලසා තිබේ. 

මේ අනුව, 2027 අයවැය දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව සහ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම 2026 නොවැම්බර් 12 වැනිදා සිදු කිරීමට නියමිතය.

ඉන් අනතුරුව, නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින 07ක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත්, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමටත් නියමිතය.

පසුව, නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත අතර, අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ රජයේ නිවාඩු සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ද ඇතුළුව සෑම දිනකම පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස්වීමට නියමිතය. 

2027 විසර්ජන පනත් කෙටුම්පත මඟින් 2027 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා වූ මුදල් වර්ෂය සඳහා රජයේ වියදම් දැරීම, ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැලසීම සහ අදාළ ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සලසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website