ආනයනකරුගේ තොරතුරු නොමැති භාණ්ඩ අලෙවියට තැබූ කොළඹ ආයතන 03ක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන්ක්ෂ පසු රුපියල් ලක්ෂ 03ක දඩ නියම කරන ලද බව පාරිභෝගික අධිකාරිය අද (07) නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
එම නිවේදනය පහත දැක්වේ.
අංක 2286/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ අංක 85 දරන විධානය උල්ලංඝනය කරමින්, ආනයනකරුගේ නම, ලිපිනය ඇතුළු අවශ්‍ය තොරතුරු සඳහන් නොකර ආනයනික භාණ්ඩ අලෙවියට තබා තිබූ කොළඹ ප්‍රදේශයේ ආයතන තුනකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩු පවරන ලදී.
එම නඩු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එක් ආයතනයකට රු.100,000/- බැගින්, ආයතන තුනට සමස්ත රු.300,000/-ක දඩ මුදලක් නියම කර ඇත.
මෙලෙස දඩ නියම වූයේ තොරතුරු රහිත ආනයනික ආහාර අලෙවියට තැබූ කොල්ලුපිටිය 16 වන පටුමගේ “වුවාන් චයින්ස් රෙස්ටෝරන්ට්”, නීත්‍යානුකූල ලේබල් තොරතුරු නොමැති මදුරු විකර්ෂක ආලේපන අලෙවියට තැබූ පිටකොටුව මුහුදු මාවතේ Diligenics Lanka Holding (Pvt) Ltd සහ ආනයනකරුගේ තොරතුරු නොමැති සපත්තු අලෙවිය සඳහා ප්‍රදර්ශනය කළ වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතේ Quebec Gateway (Pvt) Ltd යන ආයතන සඳහාය.
ආනයනික භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර ලේබලය පරීක්ෂා කරන්න. ආහාර, ශරීරාලේපන, පාවහන් ඇතුළු ආනයනික නිෂ්පාදන මිලදී ගැනීමේදී මෙරට ආනයනකරු පිළිබඳ අවශ්‍ය තොරතුරු, මිල සහ අදාළ නිෂ්පාදන තොරතුරු නිසි පරිදි සඳහන් කර තිබේදැයි පරීක්ෂා කිරීම පාරිභෝගික ආරක්ෂාව සඳහා වැදගත් වේ.
අවශ්‍ය තොරතුරු නොමැති ආනයනික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන්න.














