ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව පියයුරු පිළිකා රෝගීන් 6000ක් පමණ වාර්තා වන බවත් එයින් 1000කට අධික පිරිසක් මිය යන බවත් ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා පැවසුවේය.
කොළඹ නගර සභාවේ පිළිකා මර්ධන වැඩසටහන පිළිබඳ පැවති වැඩසටහනකට එක්වෙමින් අධ්‍යක්ෂවරයා මේ බව හෙළි කළේය.
ශ්‍රී ලංකාවෙන් වැඩිපුරම වාර්තා වන පිළිකා විශේෂය සහ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පිළිකාව ද පියයුරු පිළිකාව බව කී තලගල මහතා මෙරටින් දෛනිකව පියයුරු පිළිකා රෝගීන් 17 දෙනෙකු අලුතින් වාර්තා වෙන අතර ඉන් තිදෙනෙකු මිය යන බව ද හෙළි කළේය.
“වැදගත් වෙන්නේ රෝගය කල් ඇතිව හඳුනාගැනීමයි. ඒ වගේම නිසි ප්‍රතිකාර ලබා ගැනීම සහ රෝගීන් පසු විපරම් කිරීම ද ඉතා වැදගත්. නමුත් අවාසනාවකට අපි දකින දෙයක් තමයි බොහෝ ප්‍රමාද වෙලා තමයි රෝගීන් රෝහල් වෙත එන්නේ. රෝග ලක්ෂණ පැහැදිලිව පේන්න තිබියදීත් ඒ ගැන නොසලකා හැර අවසානයේ දී රෝහල් වෙත පැමිණෙනවා. ඒ වන විට ප්‍රතිකාර තුළින් පිළිකාව සුව කරන්න අසීරුයි. ඒ නිසා අපි දිගින් දිගටම විශේෂයෙන් කාන්තාවන්ගෙන් ඉල්ලන්නේ පියයුරු පිළිකාවක රෝග ලක්ෂණ දුටු වහාම නිසි ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණෙන්න. එවිට ඔබට පහසුවෙන් රෝගය සුවකර ගන්න පුළුවන්” ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා වැඩි දුරටත් පැවසුවේය.
















