
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සහ සයිබර් තර්ජන කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබාගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේය.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සයිබර් තර්ජන හඳුනාගැනීමේ සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඉන්දියාවේ CERT-In ආයතනයේ මෙහෙයුම් අත්දැකීම් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී ප්‍රධාන අවධානය යොමු වූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ දී අද (05) පැවැති මෙම සාකච්ඡාවට අඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී වූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
“සයිබර් තර්ජන විශ්ලේෂණය, රාජ්‍ය ආයතන සහ මහජනතාව සඳහා සයිබර් ආරක්ෂණ පුහුණු වැඩසටහන් ශක්තිමත් කිරීම සහ කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තර්ජන ඇගයීමේ ක්‍රමවේද ස්ථාපිත කිරීම පිළිබඳව ද අපි ඉන්දීය නියෝජිතයින් සමඟ සාකච්ඡා කළා. අන්තර්ජාල සේවා සපයන්නන්, රජය, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශය අතර සම්බන්ධීකරණය තුළින් සයිබර් ආරක්ෂණය සහ ධාරිතා වර්ධනය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අපි අත්දැකීම් හුවමාරු කර ගත්තා” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.















