දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා වීමෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (02) කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා ආරම්භ කරන ලදි.
දිට්වා සුළි කුණාටුවෙන් මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් උඩරට මාර්ගයේ රඹුක්කන සිට මහනුවර සහ බදුල්ල දක්වා සම්පූර්ණයෙන්ම නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණ අතර උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා පමණක් ඊයේ දක්වා ක්‍රියාත්මක විය.
පොඩි මැණිකේ දුම්රිය අද උදෑසන 5.55ට පරීක්ෂණ ධාවනයක් ලෙස කොළඹ කොටුව සිට ගමන් ආරම්භ කළ අතර එහි ගමන් කිරීමට මගීන්ට අවස්ථාව ලැබුණේ නැත.
රඹුක්කන දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු සහ ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් එම දුම්රිය ගමන එක් වූ අතර දුම්රිය මාර්ග පිළිසකර කිරීම සඳහා එක්වූ ඉංජිනේරුවන් සහ සේවකයින් මෙම පරීක්ෂණ දුම්රියේ ගමන් කළහ.
පොඩි මැණිකේ දුම්රිය පේරාදෙණිය දුම්රිය ස්ථානයට පැමිණීමෙන් අනතුරුව විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබුණේය.
එතැන් සිට පොඩි මැණිකේ දුම්රිය ගම්පොළ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.













