දශක ගණනාවක් පුරා ඔක්තෝබර් 01 වැනි දින ශ්‍රී ලංකාවේ සුවිශේෂී දිනයක් ලෙස සමරනු ලබයි. දැයේ දරුවන් මෙන්ම, අපගේ වැඩිහිටියන් ද ආදරයෙන් හා ගෞරවයෙන් සිහිපත් කරන දිනයක් ලෙස මේ දිනය ඉතා වැදගත්ය.
අපේ සමාජය ගොඩනැඟූ පරම්පරාවන් මෙන්ම, අප රටේ අනාගතය හැඩගස්වන පරම්පරාවන් වෙනුවෙන් ද අප වෙත පැවරී ඇති අතිමහත් වගකීම මෙම සුවිශේෂී දිනයේදී අපට නැවත වරක් සිහිපත් කර දෙයි.
මෙවර ලෝක ළමා දිනය “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ සැමරන අතර, වේගයෙන් සිදුවන සමාජීය හා තාක්ෂණික වෙනස්කම් හමුවේ ළමා කාලය දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් පවතින මොහොතක මෙම තේමාව සුවිශේෂී වැදගත්කමක් උසුලයි.
දරුවෙන්ගේ පූර්ණ සංවර්ධනය සඳහා වන පදනම වන්නෙි අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම සුරක්ෂිතතාව යි.
එසේම දරුවෙකුට යහපත් ළමා කාලයක් හිමිකර දීම උදෙසා ඔවුන්ගේ මානසික සුවතාව, ආත්මවිශ්වාසය හා ගරුත්වය ගොඩනැංවීම මෙන්ම, ප්‍රචණ්ඩත්වයෙන්, අවමානයෙන් සහ වෙනස්කොට සැලකීමෙන් තොර නිදහස් පරිසරයක් නිර්මාණය කිරීම ද අත්‍යවශ්‍ය වේ.
තමන් සුරක්ෂිත බව, අගය කරන බව සහ වැඩිහිටියන් තමන්ට සවන්දෙන බව දරුවන්ට දැනෙන විට, ඉගෙනීමට, යහපත් සබඳතා ගොඩනඟා ගැනීමට, අභියෝගවලට මුහුණ දීමට සහ සමාජයට ධනාත්මකව දායක වීමට ඔවුන්ට වැඩි ඉඩකඩක් සැලසේ.
ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) දරුවන්ගේ ඉගෙනුම, සන්නිවේදනය සහ ඔවුන් ලෝකය අත්විඳින ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් පවතින වර්තමාන සමාජය තුළ මේ පිළිබඳව පෙරටත් වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුය. තාක්ෂණය හරහා අසීමිත අවස්ථා උදාකර දුන්නද, සයිබර් අවකාශය තුළ දරුවන්ට එරෙහිව සිදුවන හිරිහැර, හිංසන සහ සූරාකෑම් ඇතුළු නව මුහුණුවරින් මතුවන ප්‍රචණ්ඩත්වයට දරුවන් නිරාවරණය වීමේ අවදානමක් ද පවතී. එබැවින් මෙම නව ඩිජිටල් පරිසරය තුළ දරුවන් ආරක්ෂා කිරීමේදී ඔවුන්ගේ මානසික හා මනෝසමාජීය යහපැවැත්ම කෙරෙහි ද සමාන අවධානයක් යොමුකළ යුතුව ඇත.
දරුවන් සම්බන්ධයෙන් වන මෙම වගකීම රජය මනාව හඳුනාගෙන ඇති අතර, අන්තර්ජාලය තුළ මෙන්ම ඊට පිටතදී ද දරුවන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. රජයක් ලෙස අප, දරුවන් සමාජ මාධ්‍ය සහ ඩිජිටල් උපකරණ භාවිත කිරීම සම්බන්ධයෙන් සුදුසු ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමට ජාත්‍යන්තර අත්දැකීම් ද සැලකිල්ලට ගනිමින් කටයුතු කරමින් තිබේ.
එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය සහ වර්ධනය උදෙසා තාක්ෂණය නිවැරදිව ප්‍රයෝජනයට ගැනීමට ඇති අවස්ථා තහවුරු කිරීමට ද අප බැඳී සිටිමු.
ඩිජිටල් පරිසරය තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනටමත් ලොව පුරා රටවල් රැසක් කටයුතු කරමින් සිටී. කෙසේ වෙතත්, අපගේ වගකීම ඩිජිටල් අවකාශයට පමණක් සීමා නොවේ. දරුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය නිසා ඇතිවන්නේ ශාරීරික තුවාල පමණක්ද නොවේ. දරුවන්ට සිදුවන හිංසනය, අවමානයට ලක්කිරීම සහ ප්‍රචණ්ඩකාරී විනය ක්‍රමවේද මඟින් දරුවෙකුගේ ආත්මවිශ්වාසය, චිත්තවේගීය වර්ධනය සහ සුරක්ෂිතභාවය පිළිබඳ හැඟීමට දීර්ඝකාලීන හානි සිදුවිය හැකිය.
ශාරීරික දඬුවම්වලට එරෙහි නීතිමය රාමුව ශක්තිමත් කිරීම සහ දරුවන්ගේ ගරුත්වය හා යහපැවැත්ම සුරකින විනය ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම උදෙසා රජය ගෙන යන වැඩපිළිවෙළින් ද මෙය පිළිබිඹු වේ. මෙම ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ මඟින් දරුවන් ශාරීරික මෙන්ම මානසික ප්‍රචණ්ඩත්වයෙන් ද ආරක්ෂා කිරීමේ වැදගත්කම රජය මැනවින් හඳුනාගෙන ඇත.
දරුවන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීමේදී ඔවුන් ආර්ථික සූරාකෑම්වලින් ආරක්ෂා කිරීම ද ප්‍රධාන වේ. මේ වසරේදී රජය විසින් ‘කාන්තාවන්, තරුණ පුද්ගලයන් සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත’ සංශෝධනය කරමින්, අදාළ වැරදි සඳහා පනවා තිබූ දඩ මුදල රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන ලදී. මෙම සංශෝධනය අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතර, සැප්තැම්බර් මාසයේදී 2026 අංක 21 දරන පනත ලෙස සහතික කරන ලදී. දැනට පවතින නීතිය මඟින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සේවයේ යෙදවීම තහනම් කර ඇති අතර, මෙලෙස දඬුවම් ශක්තිමත් කිරීම මඟින් නීතිවිරෝධී සහ හානිකර රැකියාවලින් දරුවන් ආරක්ෂා කිරීමට රජය සතු කැපවීම මෙ තුළින් තවදුරටත් තහවුරු වේ.
මෙම සියලු පියවරයන්ගෙන් පිළිබිඹු වන්නේ අප සතු පුළුල් වගකීමයි. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ජීවත්වන සෑම දරුවෙකුටම ඔවුන්ගේ ආර්ථික තත්ත්වය, භූගෝලීය පිහිටීම, භාෂාව, ජනවර්ගය, ආගම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ආබාධිත තත්ත්වයන් හෝ වෙනත් කිසිදු වෙනස්කමකින් තොරව ආරක්ෂිතව, සෞඛ්‍ය සම්පන්නව, අධ්‍යාපනය ලබමින් ආත්මවිශ්වාසයෙන් යුතුව ගොඩනැඟීමට සමාන අවස්ථා හිමිවිය යුතුය.
කෙසේ වෙතත්, එවැනි පරිසරයක් ගොඩනැඟිය හැක්කේ රජයේ ක්‍රියාමාර්ගවලින් පමණක් නොවේ. දරුවන්ට බියෙන් හා සැකෙන් තොරව අදහස් දැක්වීමටත්, අපකීර්තියට හෝ අපවාදයට ලක්වීමේ බියකින් තොරව උපකාර ඉල්ලා සිටීමටත්, අවමානයෙන් තොරව ඉගෙනීමටත්, ප්‍රචණ්ඩත්වයෙන් තොරව වර්ධනය වීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම දෙමාපියන්, ගුරුවරුන්, භාරකරුවන්, ප්‍රජාව, විවිධ ආයතන සහ සමස්ත සමාජය සතුය.
මෙවර ලෝක ළමා දිනයේදී අපගේ දරුවන්ට වඩාත් සාවධානව සවන් දෙමු. ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් සහ අත්දැකීම් අගය කරමු. ඔවුන්ට අධ්‍යාපනය සහ අවස්ථා පමණක් නොව, වේගයෙන් වෙනස් වන ලෝකයකට මුහුණ දීමට අවශ්‍ය සුරක්ෂිතභාවය, අවබෝධය සහ ආත්මවිශ්වාසය ද ලබා දෙමු.
අපගේ දරුවන්ගේ මනස සවිමත් කිරීම යනු අපගේ රටේ අනාගතය ශක්තිමත් කිරීමයි.
ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලු දූ දරුවන්ට මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි.
ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය













