ජනාධිපති ලේකම් කාර්යාලය ජාතික ICT සම්මාන උළෙලේදී රන් සම්මානයක් සහ කුසලතා සම්මානයක් දිනා ගනී

පුරවැසියා කේන්ද්‍ර කරගත්, තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු සහ වගවීමෙන් ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන නවීන ඩිජිටල් පද්ධති වෙනුවෙන්, ‘ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල 2026’ හිදී රන් සම්මානයක් සහ කුසලතා සම්මානයක් හිමි විය.

ජාතික විශිෂ්ටතම මෘදුකාංග සම්මාන (NBQSA) වැඩසටහන ක්‍රියාත්මක කරන බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ (BCS) ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවය, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ‘මොනාක් ඉම්පීරියල්’ හෝටලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදන ඇගයීම, ඒවායේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සහ ජාතික මට්ටමේ විශිෂ්ටතා හඳුනාගැනීම මෙම සම්මාන වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

එහිදී ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘IntegrityLink – IAU Monitor’ රාජ්‍ය අංශයේ දූෂණ සම්බන්ධ පැමිණිලි සුරක්ෂිතව සහ විශ්වාසනීයව යොමු කිරීමට හා කළමනාකරණය කිරීමට සහාය වන ඩිජිටල් පද්ධතිය වෙනුවෙන්, රාජ්‍ය අංශය සහ රජය යටතේ වන ‘පුරවැසි සේවා’ කාණ්ඩයෙන් රන් සම්මානය හිමි විය.

ඩිජිටල් නාලිකා ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට පුරවැසියන්ට අවස්ථාව ලබා දෙන මෙම පද්ධතිය මගින්, බලයලත් රාජ්‍ය නිලධාරීන්ට විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ එම පැමිණිලි නිරීක්ෂණය, ඇගයීම, පරීක්ෂා කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම සිදු කළ හැකිය.

එමෙන්ම, ‘Litigation Management System (LMS)’ සඳහා රාජ්‍ය අංශය සහ රජය යටතේ වන ඩිජිටල් රාජ්‍ය පාලනය කාණ්ඩයේ කුසලතා සම්මානයක්ද ජනාධිපති ලේකම් කාර්යාලයට හිමි විය.

රාජ්‍ය ආයතන සම්බන්ධ නඩු කටයුතු සහ මධ්‍යස්ථකරණ කටයුතු කළමනාකරණය සඳහා මෙම පද්ධතිය මධ්‍යගත වේදිකාවක් සපයන අතර, එමඟින් නඩු කටයුතු නිරීක්ෂණය කිරීම, වාර්තා කිරීම, විශ්ලේෂණය කිරීම සහ කඩිනම් හා තොරතුරු සහිත තීරණ ගැනීමට අදාළ සහාය ලබා දීම සිදු කෙරේ.

ජනාධිපති ලේකම් කාර්යාලය මෙවර සම්මාන දිනාගැනීම සිදු වන්නේ, 2025 ජාතික ICT සම්මාන උළෙලේදී විශිෂ්ට ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි.එහිදී ජනාධිපති අරමුදලේ e-Services ජාතික පද්ධතිය සඳහා රාජ්‍ය අංශයේ වඩාත්ම කැපී පෙනෙන ICT සාධනයට හිමි සම්මානය (Public Sector Most Outstanding ICT Achievement Award) මෙන්ම, රාජ්‍ය අංශය සහ රජය යටතේ වන පුරවැසි සේවා කාණ්ඩයේ ලෝකඩ සම්මානයක්ද හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website