සමාජ සාධාරණත්වය අරඹයා ශ්‍රී ලංකාවට නව මාවතක් විවරකරගත හැකිද ?

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට, සමාජ සාධාරණත්වය පිළිබඳ අපගේ දීර්ඝකාලීන අපේක්ෂාවන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කරගැනීමේ නොහැකියාව පැහැදිලි හඳුනාගත හැකිවේ. ව්‍යවස්ථාමය වශයෙන් ශ්‍රී ලංකාව “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්” ලෙස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිල වශයෙන් හැඳින්වුවද රටේ ආර්ථික, සමාජීය හා රාජ්‍ය  ව්‍යුහය ගොඩනැගීම උදෙසා සමාජවාදී න්‍යාය සහ ව්‍යවහාරයේ ප්‍රායෝගික භාවිත අරභයා පොදු සමාජමතයක් ගොඩනගා ගැනීමට මෙරට වාමාංශික දේශපාලනඥයින් මෙතෙක් ගත් උත්සාහ කෙතරම් සාර්ථක වූවාද යන්න ගැටළුවකි.

මෙමගින් ඉස්මතු කරන්නේ “ශ්‍රී ලංකාව සමාජවාදී රටක් විය යුතුද, නැද්ද?” යන්න නොවේ. මන්දයත්, එවැනි සරල කළු-සුදු ප්‍රවේශයකින් ඊට පිළිතුරු සැපයීමම නිර්ථක වෑයමක් වන හෙයිනි. ඊට වඩා වැදගත් සහ ප්‍රායෝගික ප්‍රවේශය වන්නේ, සමාජ සාධාරණත්වය යටතේ සමස්ථ ආර්ථික සංවර්ධනය උදෙසා වූ දේශපාලන-ආර්ථික ආකෘතියක් ශ්‍රී ලංකාව තුළ බිහිකර ගැනීමට නොහැකිවූයේ ඇයිද? යන්නයි. මෙම කතිකාවත ශූන්‍යයේ සිට සම්පූර්ණයෙන්ම නව දේශපාලන පද්ධතියක් ආදේශ කිරීමකට වඩා, දැනටමත් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත කර සලසා ඇති විධිවිධාන සමාජවාදී සංකල්ප යටතේ ප්‍රායෝගික ජන ජීවිතයට කොතරම් දුරට බද්ධකරවන්නේද, සහ ඒවා වර්තමාන ගෝලීය තත්ත්වයන්ට ගැලපෙන සේ නවීකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ සංවාදයක් ලෙස දැකිය හැකිය.

ගෝලීය අත්දැකීම්

මේ පිළිබඳව ගෝලීය අත්දැකීම් විමසා බැලීමේදී, මෑත අතීතයේ වියට්නාමයේ සිදුවූ පරිවර්තනය කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු කරමු. මක්නිසාද යත්, මෙහිදී එරට අත්කරගත් ආර්ථික පරිවර්තනයෙන් හා ප්‍රගතියෙන් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් පාඩමක් උගත හැකි බැවිනි. 1986 දී ආරම්භ වූ Doi Moi ප්‍රතිසංස්කරණ මගින් වියට්නාමයේ රාජ්‍ය විසින් පාලනය කළ, මධ්‍යගත ආර්ථික ආකෘතියෙන් මිදී වෙළෙඳපොළ යාන්ත්‍රණ, පෞද්ගලික ක්‍රියාකාරකම්, ජාත්‍යන්තර වෙළෙඳාම සහ විදේශීය සෘජු ආයෝජන Foreign Direct Investment සඳහා වැඩි ඉඩක් ඇති බහු-අංශ ආර්ථිකයකට මාරු විය. ලෝක බැංකු අධ්‍යයන සහ ගෝලීය ආර්ථික දත්තවලට අනුව, එම පරිවර්තනය මගින් වියට්නාමය අතිශය වේගවත් ආර්ථික වර්ධනයක් අත්කරගත් අතර, පසුගිය දශක කිහිපය තුළ එරට දරිද්‍රතාවය අතිවිශාල ලෙස අඩු කිරීමට රාජ්‍ය පාලනය සමත් විය.

මෙමගින් ඉස්මතුකරන වැදගත්ම පාඩම වන්නේ සමාජවාදී අරමුණු සඳහා සියලු ආර්ථික ක්‍රියාකාරකම් රාජ්‍ය සතු කිරීම හෝ වෙළෙඳපොළ අහෝසි කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි. ස්වදේශීය නිෂ්පාදනය හා ආයෝජන පුළුල් කිරීම, පෞද්ගලික ව්‍යවසායකත්වයට අවකාශ සැලසීම සමඟ අධ්‍යාපනය, සෞඛ්‍යය හා සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම තුළින් නිෂ්පාදන වර්ධනය හා සමාජ සාධාරණත්වය එකිනෙකට සම්බන්ධ කළ හැකිය. එමඟින් අදහස් කරන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් නොව, නිෂ්පාදනයේ වර්ධනය, සාධාරණ අවස්ථා, පොදු සේවා, සමාජ ආරක්ෂණය, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සමබරව ඉදිරියට ගෙන යන සමාජ-ආර්ථික මාවතකි. ඒ සඳහා පැහැදිලි උදාහරණයක් වියට්නාම අත්දැකීමෙන් දැකගත හැකිය.

වියට්නාම ව්‍යවස්ථාව තුළින් වෙළෙඳපොළ යාන්ත්‍රණ සහිත බහු-අංශ ආර්ථිකයක් පිළිගන්නා අතර, සමාජ අයිතිවාසිකම්, නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහ ජනතා සහභාගීත්වය පිළිබඳ ප්‍රතිපාදන සලසා දී ඇත. රාජ්‍යය විසින් වෙළෙඳපොළ සහමුලින්ම පාලනය කරනවා වෙනුවට, වෙළෙඳපොළ නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට ඉඩ දෙමින් එහි ප්‍රතිලාභ සමාජයේ පහළට ගලා යාමට සැලසුම්සහගතව මැදිහත් වීම එහි කැපී පෙනෙන ලක්ෂණයකි. කෙසේ වුවද වියට්නාමයේ දේශපාලන පද්ධතිය ශ්‍රී  ලංකාවේ පවතින බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියට සමාන එකක් නොවන බව මෙහිදී අප සිත්හි අවධාරණය කරගත යුත්තකි.

වෙළෙඳපොළ ආර්ථිකය

මෙම සම්බන්ධයෙන් ඉතා වැදගත් උදාහරණයක් චීනයෙන් දැකගත හැකිය. මාඕ සේතුංගේ අභාවයෙන් පසු මහජන චීන ජනරජයේ නායකත්වයට පත් ඩෙං සියෝපිං, 1978 දී ආරම්භ කළ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය හරහා නූතන චීන ආර්ථිකයේ හා සමාජයේ විශාල පරිවර්තනයක් සිදු කරන ලදී. එමෙන්ම වෙළෙඳපොළ ආර්ථිකය, රාජ්‍ය අංශයට හා මූලෝපායික කර්මාන්තවලට මුල්තැන දෙන අතරම, පෞද්ගලික ව්‍යවසාය, දේපළ අයිතිය සහ විදේශ ආයෝජන සඳහා ද අවකාශ සලසා ඇත්තේ සමාජවාදී දේශපාලන දැක්ම තුළ පැවතීම  ද විශේෂත්වයකි.

මෙහිදී මාක්ස්වාදී න්‍යායයන් පෝෂණය කරමින් ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ සමාජවාදී චින්තනයේ ප්‍රායෝගික හා දිගුකාලීන මාර්ගෝපදේශනය, එරට ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක්ම වෙනත් කිසිදු රටකට නොදෙවෙනි මට්ටමක් දක්වා ඔසවා තබා ඇති ආකාරය විශ්මය ජනකවේ. කෙසේ වෙතත්, චීනයේ දේශපාලන ව්‍යුහය තනි පක්ෂ පාලනයක් බැවින් එරට ආර්ථික ප්‍රතිසංස්කරණ හෝ පාලන ක්‍රම සෘජුවම ශ්‍රී ලංකාවේ දේශපාලන ආකෘතියකට පිටපත් කළ යුතුය යන්න මෙයින් අදහස් නොකෙරේ. එහෙත් ප්‍රතිපත්තිමය වශයෙන් දිගුකාලීන ස්ථාවරත්වය, ජාතික නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය සහ සැලසුම්සහගතව දරිද්‍රතාවය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හා තාක්ෂණික අත්දැකීම් විග්‍රහ කරගැනීම ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වේ.

අභ්‍යන්තර බිඳවැටීම්

සමාජ සාධාරණත්වය සහ ජනතාවගේ මූලික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම වැදගත් වුව ද එය ජනතාවට අධ්‍යාපනය, සෞඛ්‍යය හා සමාජ ආරක්ෂණය සැලසීම ඔස්සේ පමණක් ප්‍රමාණවත් නොවන බව කියුබානු රාජ්‍යයේ අත්දැකීමෙන් ශ්‍රී ලංකාවට ගත හැකි ප්‍රධාන පාඩමකි. මෙම අවශ්‍යතාවය හඳුනාගනිමින් වත්මන් කියුබාව ද තම සමාජවාදී පදනම සහ සමාජ ආරක්ෂණ අරමුණු සම්පූර්ණයෙන්ම අතහැර නොදමමින්, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ පෞද්ගලික ව්‍යවසායන් සඳහා වැඩි ඉඩකඩක් විවර කිරීම, වෙළෙඳපොළ යාන්ත්‍රණයන්ට ප්‍රමාණවත් නිදහසක් ලබාදීම සහ විදේශීය ආයෝජන සඳහා දොරටු විවෘත කිරීම වැනි ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත දැන් යොමු වෙමින් සිටී. ඒ අනුව, රාජ්‍ය හා පෞද්ගලික ආර්ථික නිෂ්පාදන ක්‍රමෝපායන් සමබරව ගොඩනැගිය යුතු බව කියුබාව දැන් අවබෝධකරගෙන තිබේ.

එමෙන්ම දශක කිහිපයක් තුළ සමස්ත ලෝකය පුරාම සමාජ සාධාරණය හා ගතික ආර්ථිකයක් සමග යටපත්කළ නොහැකි බලයක් ඇතිබව පෙන්නුම් කළ සෝවියට් සංගමයේ අත්දැකීම සහ එහි අවසානය සමාජවාදය පිළිබඳ ඕනෑම බුද්ධිමය සාකච්ඡාවකදී අප සැලකිල්ලෙන් විමසා බැලිය යුතු ඓතිහාසික පාඩමකි.

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම හුදෙක් බටහිර කුමන්ත්‍රණයකට පමණක් සීමා කළ හැකි සිදුවීමක් නොවේ. පෙරස්ත්‍රොයිකාව සමග ග්ලාස්නොස්ට් ක්‍රියා පිළිවෙත යටතේ මධ්‍යගත වූ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට දැරූ උත්සාහයන්හිදී එරට තුළ දශක ගණනාවක් තිස්සේ යටපත්ව තිබූ ජාතිකවාදී බලවේගවල නැගීසිටීම හා මතවාදීව දේශපාලනික බෙදීම්, සමග ඇති වූ අර්බුද ඊට එකිනෙක සම්බන්ධ විය.  මෙයින් ගම්‍ය වූයේ කුමක්ද? කිසිදු දේශපාලන-ආර්ථික පද්ධතියක් තනි මධ්‍යගත බල ව්‍යුහයක් හෝ රාජ්‍ය අයිතිය මත පමණක් දීර්ඝකාලීනව රඳවා තබාගත නොහැකි බවයි.

ජාතික ඒකාබද්ධතාව

එසේම බහු-ජාතික හා බහු-ආගමික සමාජයකට ඉතා වැදගත් වූ තවත් ඓතිහාසික පාඩමක් යුගෝස්ලාවියාවෙන් විද්‍යාමාන විය. යුගොස්ලාවියානු සමාජවාදී සමූහාණ්ඩුව බිඳවැටීම අප සැමට කියා දෙන්නේ ගැඹුරු යථාර්ථයකි. වසර කිහිපයක් පැවති ඛේදජනක යුදමය තත්ත්වයන්හිදී ආර්ථික පසුබෑම හමුවේ අන්තවාදී ජාතිකවාදී බලවේග නැගීසිටීම, ජනවාර්ගික හා ආගමික බෙදීම්, කලාපීය වශයෙන් දේශපාලන බලය ස්ථාවරකර ගැනීමට ක්‍රියා කළ ආකාරයක් අපට පෙන්වා දෙයි.

මෙයින් පැහැදිලි වන්නේ සමාජ සාධාරණත්වය යනු හුදෙක් ආර්ථික ප්‍රතිලාභ බෙදාහැරීම හෝ ද්‍රව්‍යමය සහන සැලසීම පමණක් නොවන බවයි. රටක වෙසෙන විවිධ ජනකොටස් අතර ඇතිවන දේශපාලන විශ්වාසය, පුරවැසිභාවයේ සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවය තහවුරුවීම සහ ආගමික අනන්‍යතාවට ගරුකිරීම, වැනි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සමාජ සාධාරණත්වයේ අත්‍යවශ්‍ය  සහ ප්‍රධානතම කොටස් වුවද, ජාතික ඒකාබද්ධතාවය සහ දේශපාලන සමානාත්මතාවය නොමැති තැනක සමාජ සාධාරණත්වය යන්න අසම්පූර්ණ ප්‍රපංචයක් වන ආකාරයකි.

අත්හදා බැලීම

ඉහත සඳහන් කළ කිසිදු රටක ආකෘතියක් සම්පූර්ණයෙන්ම හෝ එකහෙළා ශ්‍රී ලංකාවට අනුකරණය කළ නොහැකි දෙයකි. එය ප්‍රායෝගිකද නොවේ. යහපාලනයකට දීර්ඝකාලීනව හිමිකම් කියන උදාර ඉතිහාසයක් ශ්‍රී  ලංකාවට හිමිව තිබුණි. එහෙත් 1931 සිට පැවත එන සර්වජන ඡන්ද සම්ප්‍රදායට නතුවූ, බහුපක්ෂ දේශපාලන සංස්කෘතිය විසින් පසු කාලීනව එය ජනවාර්ගික හා ආගමික විවිධත්වයමත පිහිටා කටයුතුකරන තැනකට විතැන්වීමේ ඛේදජනක ඉරණම දක්වා විකසනය වී ඇත. එවන් වාතාවරණයක් යටතේ හා භූ-ආර්ථික වැදගත්කම ඉස්මතුවෙමින් පවතින යුගයක අපට විසඳා ගැනීමට පොදු වූත්, බරපතළ වූත් ප්‍රශ්න කිහිපයක් තිබේ.

ඒ අනුව මෙරට ඉතිහාසය දෙස බැලීමේදී, 1970 දී ක්‍රියාත්මක වූ රාජ්‍ය පාලනය සහිත සංවෘත ආර්ථිකය සහ 1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබුණි. ඉන් පසුව නිර්මාණය වූ මිශ්‍ර ආර්ථික රාමුව තුළ,  රටේ සංවර්ධන ව්‍යාපෘති සහ ආර්ථික ස්ථාවරත්වය උදෙසා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල දායකත්වය සහ තාක්ෂණික සහාය කෙරෙහි යොමුවුණි. රටේ යටිතල පහසුකම් සහ සංවර්ධන මාවත සකස් කිරීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඒ ඔස්සේ ඉටුකර ගැනීම අපේක්ෂා කෙරුණි. මෙහිදී උද්ගත ඇති ප්‍රශ්නය වන්නේ අපට ආධාර ලැබුණේද? යන්න නොවේ. ලැබුණු මූල්‍ය හා භෞතික සම්පත් දිගුකාලීනව ඒ ඒ ක්ෂේත්‍රයන්හි තිරසාර සංවර්ධනයකට යෙදවිමට අපට හැකි වූවාද? යන්නයි. සැබෑ ප්‍රශ්නය වන්නේ රාජ්‍ය සම්පත් මහජනතාවගේ අභිවෘද්ධිය  සැබැවින්ම උදෙසා උපයෝගී  කරගත්තේද? යන්නයි.

එමෙන්ම විදේශීය ආධාර, හා ණය අරමුදල් භාවිතකර මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක්, ශක්තිමත් අපනයන පදනමක් සහ ආයෝජන පරිසරයක් ගොඩනඟා ගැනීමට අපහසු වූයේ ඇයි? මෙම සංකීර්ණ ගැටළුව හමුවේ ඒ ඒ වකවානුවේ සිටි දේශපාලඥයින් සමග සේවය කළ ඉහළම රාජ්‍ය නිළධාරීන් අතලොස්ස මෙන්ම දේශපාලන බලය වටා ගොඩනැගුණු පෞද්ගලික අනුග්‍රහවාදය, දූෂණය සහ දුර්වල රාජ්‍ය පාලන ක්‍රමවේද එකිනෙක වෙළී පැවතුණු ආකාරය බොහෝ දෙනෙකුට අමතක කළ නොහැකි වනු ඇත.

විකල්පය තෝරා ගැනීම

මෙහිදී නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම පළමුවැනි ක්‍රියාදාමය වනු ඇත. සමාජවාදී රාජ්‍යයක්, වෙළෙඳපොළ ආර්ථිකයක් හෝ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යන කුමන ආකෘතියක් අප තෝරාගත්තද, නීතිය යන්න එක් පුද්ගලයෙකුට, දේශපාලන පක්ෂයකට, ඔවුන්ගේ සමීපතමයිනට, අපරාධකරුවන්ට හා ධනපතියන්ට හෝ රාජ්‍ය බලයට වඩා ඉහළින්ම පැවතිය යුතු දෙයකි. මක්නිසාදයත්, රාජ්‍ය  බලය හසුරුවන්නන් සහ රාජ්‍ය ආයතන විසින්ම නීතිය අපගමනයට ලක්කරන විට, දූෂණය සහ නාස්තිය රජයයි. එවිට, සමාජ සාධාරණත්වය යන්න හුදෙක් දේශපාලන වේදිකාවේ කියවෙන හිස් වගාලාපයක් පමණක් බවට පත්වේ.

එමෙන්ම සෑම දෙයක්ම රාජ්‍ය සතු කිරීම හෝ රාජ්‍ය පාලනයට යටත් කිරීම සමාජවාදයේ එකම න්‍යාය ලෙසින් අදහස් නොවේ. එය පෞද්ගලික අංශයට හෝ පාලනය නොකළ නිදහස් වෙළෙඳපොළ බලවේගවලට භාරදීම යන්නද  ඉන් ගම්‍ය නොවේ. එහි සැබෑ සන්දර්භය වන්නේ රටේ ධනය සහ නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරන්නේ කෙසේද යන්නත්, එම නිෂ්පාදන ක්‍රියාවලියට සාමාන්‍ය  ජනතාව දායක කරගනිමින් එහි ප්‍රතිලාභ සමාජයේ සෑම තරාතිරමකටම සාධාරණව බෙදීයන ක්‍රමවේදයක් සකස් කරන්නේ කෙසේද යන්න මතය.

තවමත් මෙරට උඩ-යට යමින්පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ ආදායම් අසමානතාව සහ පුද්ගල දරිද්‍රතාවය අතිශය බරපතළ ගැටළුවකි. 2024 වන විට ශ්‍රී  ලංකාවේ දරිද්‍රතා අනුපාතය 24.9% ක් තරම් ඉහළ අගයක පැවති අතර, යම් ආර්ථික ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබුණද, 2025 දී අපේක්ෂා කළ 22.4% මට්ටම අතක්‍රමණයකරමින් එය 2019 මට්ටමට වඩා දෙගුණයක්ව ඇතිබව ලෝක බැංකුවේ මෑතකාලීන ඇගයීම්  පෙන්වා දෙයි. රටේ බොහෝ පවුල්වල ආදායම් මට්ටම් හා සුබසාධනය තවමත් අර්බුදයට පූර්වයෙන් පැවති මට්ටමට සම්පූර්ණයෙන් පැමිණ නොමැති බවක් ඉන් ගම්‍ය වේ.

මෙවැනි තත්ත්වයක් යටතේ මෙකී සියළු අර්බුද විසඳා ගැනීම අරභයා ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කැපකර සමාජවාදයට යා යුතුද නැද්ද යන්නට වඩා අත්‍යවශ්‍ය සහ ගැඹුරු ප්‍රශ්නයක් අප ඉදිරියේ සණිටුහන්කර තිබේ. එනම්, පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ, නීතියේ ආධිපත්‍යය සුරකිමින්, සමාජ සාධාරණත්වය සහ ආර්ථික සමානාත්මතාවය ගැඹුරු කරන්නේ කෙසේද? යන්න එහි ඇති සැබෑ යථාර්ථ යයි.

එවැන්නක් හුදෙක් රාජ්‍ය බලය අත්පත් කරගනිමින් රාජ්‍ය අංශය විශාල කිරීමෙන් පමණක් කළ හැකි දෙයක් නොවේ. එසේම, නොයෙක් ආකාරයෙන් සහනාධාර බෙදාදීමෙන් පමණක් සමාජ සාධාරණත්වය ඉටු වන්නේද නැත. නීතිරීති හා අණපනත් හඳුන්වා දී අධිකරණ පද්ධතියත්, නීතියේ ආධිපත්‍යයත් තහවුරු කළ පමණින් ද මෙවැනි සමාජයක් ගොඩනැඟිය නොහැක. කෙසේ වෙතත්, එකිනෙක මත රඳා පවතින මේ සියලු සාධක එකිනෙක හා බද්ධ වූ රාජ්‍යයක් නිර්මාණය කරගත් විට පමණක්, ජනතාවට දේශපාලන නිදහස මෙන්ම සමාජ ආරක්ෂාව ද හිමි වන සාධාරණ සමාජයකට මඟ පෑදෙනු ඇත. ඒ අනුව අපේක්ෂා කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින්, සමාජවාදී මාවත ඔස්සේ සමෘද්ධිමත් රාජ්‍යයක් ගොඩනැඟීමේ වෑයම සාර්ථක කරගැනීමයි.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ – මත්තේගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website