විදුලි බිල්පත්වලට ජනතාවට සහන දෙන්න රු. මිලියන 17,213ක්: පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය

බලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව අද (23) විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබිණි. 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.

මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඊයේ (22) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව ඊට අදාළ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

මේ අතර අද විවාදයට ගන්නා ලද අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ද සංශෝධන රහිතව පාර්ලි‍මේන්තුවේදී සම්මත විය.

1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනික ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ තව තනතුරු ඇති කිරීම හා පැවැති තනතුරු උත්ශ්‍රේණිගත කිරීමේදී ” අධ්‍යක්ෂවරයා” යන තනතුරු නාමය “අධ්‍යක්ෂ ජනරාල්වරයා” ලෙස පදවි නාම ගත වුව ද, 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනතේ පවතින ප්‍රතිපාදන ඊට අදාළව සංශෝධනය වී නොතිබිණි. තවද, ඊට අනුශාංශිකව, සංශෝධනය විය යුතු අනෙකුත් පදවි නාම ද සංශෝධනය වී නොතිබූ අතර මෙම පනත් කෙටුම්පත මගින් එම සංශෝධන හඳුන්වා දී ඇත.

එමෙන්ම, උක්ත පනතේ සඳහන් ” නිවේදිත කෘෂිකාර්මික භෝග ” ලෙස නම් කර ඇති අපනයන කෘෂි භෝගවල අර්ථ විවරණයන් වර්තමානයේ පවතින නිෂ්පාදන හා වෙළඳ පොළ තත්ත්වයන් සලකා බැලීමේ දී ප්‍රායෝගික නොගැළපීම් පෙන්නුම් කරන බැවින් වර්තමානයේ හා අනාගත අපනයන කෘෂි කර්මාන්තයට උචිත වන පරිදි අදාළ අර්ථ ගැන්වීම, නිර්වචනය කර සංශෝධනය කර ගැනීමේ අවශ්‍යතාවය මතු වී තිබිණි.

ඒ අනුව, පනතේ 19 වන වගන්තියේ ” අපනයන කෘෂිකර්ම භෝගය ” යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට ආහාර භෝග ඛාණ්ඩයට අයත් වන වී, එළවළු, පලතුරු, අල භෝග සහ අතිරේක ආහාර භෝග හැර දේශීය පරිභෝජනයට අමතරව අපනයනය කිරීමේ හැකියාවක් ඇති භෝගයක් වශයෙන් හඳුනාගත් සහ මේ පනතේ 2 වන වගන්තිය යටතේ “නිවේදිත කෘෂිකාර්මික භෝගයක්” ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද යම් භෝගයක් අදහස් වන බව පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත. එසේම වැවිලි භෝගයක් ලෙස හඳුනාගත් යම් භෝගයක් මෙයට ඇතුළත් නොවිය යුතු බවත් එහි වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website