මානිප්පායි පොලිස් වසමේ, මානිප්පායි නගරයේ රථවාහන අංශයේ නිලධාරීන් රාජකාරී කරමින් සිටියදී, ජංගම දුරකථනයෙන් කතා කරමින් යතුරුපැදියක් පැදවූ තරුණයෙකුට එය නතර කරන ලෙස සංඥා කර තිබේ.
එහිදී එම යතුරුපැදිය මාර්ගයෙන් ඉවත් කර නතර කළ අවස්ථාවේදී පැදිකරු සිහිසුන්ව බිම ඇද වැටී ඇත. වහාම ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව 1990 ගිලන් රථ සේවය හරහා ඔහුව යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ ද, ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත.
මරණකරු අවුරුදු 27 ක් වූ චුන්නාගම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙය හදිසි මරණයක් වන බැවින් මල්ලාකම් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇත. මරණයට නිවැරදි හේතුව අනාවරණය කර ගැනීම සඳහා සිරුරු සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.
මානිප්පායි පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ඊයේ උදෑසන මෙම මරණය සිදුව ඇති බව පොලිසිය කියයි.















