2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති විවාහක රූ රැජිණ අවසන් මහ තරගයේදී විවාහක රූ රැජිණ ලෙස තේරී පත්වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහර දීම ඇතුළු චෝදනා ලබා සිටි කැරලයින් ජූරි සහ චුල්පත්මේන්ද්රා කුමාරපතිරණ යන විත්තිකාරියන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (14) නියෝග කළේය.
මෙම පැමිණිල්ලේ විත්තිකාරියන් ලෙස හිටපු ලෝක විවාහක රූ රැජිණක වූ කැරලයින් ජූරි සහ මෝස්තර නිරූපණ ශිල්පිනියක වූ මේ වන විට මියගොස් සිටින චුල්පත්මේන්ද්රා කුමාරපතිරණ යන අය නම් කර තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්රකාශයට පත් කරමින් මහේස්ත්රාත්වරයා සඳහන් කළේ විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව ය. ඒ අනුව, විත්තිකාරියන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරන බව ද මහේස්ත්රාත්වරයා සිය නියෝගයෙන් පැවසීය.















