එල් නිනෝ නියඟයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (25) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සහන් වේ.

එම මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

මොණරාගල, පොළොන්නරුව,හම්බන්තොට, අනුරාධපුර, අම්පාර ආදී දිස්ත්‍රික් වල පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී, බඩඉරිගු ඇතුළු අනිකුත් වගාවන්ට  හානි සිදුවී ඇති බව වාර්තා වී ඇත.

මෙහිදී වී වගාවට අදාලව මොණරාගල අක්කර 1401 ක්, පොළොන්නරුව අක්කර 1259 ක්, හම්බන්තොට අක්කර 783 ක් , අම්පාර අක්කර 1055 ක්  සහ අනුරාධපුර අක්කර 1923 ක ප්‍රමාණයක් ඇතුළුව මේ තත්ත්වය යටතේ හානියට පත් දිස්ත්‍රික්කයන්හි ආසන්න ලෙස ගොවීන් 7000 කට පමණ අයත් ගොවිබිම් අක්කර 8000 කට ආසන්න ප්‍රමාණයක් හානියට පත්ව ඇති බව මේ වන විටත් හඳුනාගෙන ඇත.

මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 3000 ක ප්‍රමාණයක් රජය විසින් වෙන්කර ඇත.මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්‍ෂෙත්‍ර නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර වරුන් ඇතුළු කණ්ඩායම් වියළි කාලගුණික තත්වය යටතේ  බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක වල වගා බිම් වලට ගොස් හානි තක්සේරු කිරීම් කටයුතු සිදුකරමින් පවතී.

හානියට පත් වගාවන් සඳහා මීලග කන්නයට පෙර  කඩිනමින් වන්දි මුදල් නිදහස් කර ගොවීන්ට සහන සැලසීම රජයේ අරමුණ වන අතර ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමා විසින් මෙම තත්වය යටතේ හානියට පත් වූ කුඹුරු බිම් සඳහා වන්දි ගෙවීම කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇත.  මෙහිදී හානියට පත් වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා හා මිරිස් යන බෝග 06 ක් සඳහා  හෙක්ටයාරයක් සඳහා  රු.100,000/- මුදලක් අක්කර 05 ක් සඳහා  උපරිම වශයෙන් වන්දි  ගෙවීම සිදුකරනු ලැබේ.

මේ දක්වා හානි දැනුම්දීම සිදුකර නොමැති ගොවි මහතුන් හැකි ඉක්මනින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහතුන් හෝ  කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලයේ සංවර්ධන/ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තම හානිය දැනුම් දීම කිරීම හෝ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල  පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ පොතෙහි වගා හානිය  සටහන් කිරීම කලයුතු යුතු අතර මේ  සම්බන්ධයෙන් වැඩිදුරටත් විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීම මගින් ගොවි මහතුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website