ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ තෙවන කුඹල් පෙරහැර අද (20) දින සවස 06.53 ට දළදා මාලිගාවෙන් ආරම්භ වී දළඳා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාලිගාවට ගෙවදීමට නියමිතව ඇත.
පෙරහැර ගමන් මාර්ගයේ දුර කිලෝමීටර් 01 මීටර් 250 ක් වේ.
මෙම කාලය තුළ මහනුවර නගරය තුල ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග පහත පරිදි වේ.

- කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියළුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කල හැකිය.
- කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කල හැකිය.
- කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කල හැකිය.
- තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රියපොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කරන වාහන වම් පසටද, නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කල හැක. එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැකිය.
- නගරයේ සිට අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළඳා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කල හැක. තවද, බෝගම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කල හැකිය.
- කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට හා මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිට වීමට විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිතා කල හැකිය.
පෙරහැර මංගල්‍ය පැවැත්වෙන 2026.08.18 වන දින සිට 2026.08.28 වන දින දක්වා ශ්‍රී ලංකා පොලිසිය විසින් මහනුවර නගරය කේන්ද්‍රකරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් සඳහා මඟ පෙන්වීම් ඇතුලත් වේ.














