ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 3 වන දින කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අද (10) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගත් අතර සවස අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
පොලිස්පතිවරයාට එරෙහිව මරණ තර්ජන එල්ල කිරීම සහ ජනාධිපතිවරයා අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ප්‍රකාශ නිකුත් කිරීම යන චෝදනා මත කාරියවසම් මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
සාගර කාරියවසම් මහතාට සහාය දැක්වීම පිණිස විපක්ෂ මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියහ.














