ව්‍යාජ ලෙස SLS ප්‍රමිති ලාංඡනය යොදා ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදනය කළ කුරුණෑගල ආයතනයකට අධිකරණයෙන් රුපියල් 80,000ක දඩයක් නියම කළ අධිකරණය නඩුවට අදාළ හිස්වැසුම් විනාශ කිරීමට ද නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අද (10) නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් නිකුත් කරනු ලබන නිල SLS සහතිකය ලබා නොගෙන, අසත්‍ය ලෙස SLS ප්‍රමිති ලාංඡනය මුද්‍රණය කරමින් “TEN STAR” නාමය සහිත ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදනය කර විකිණීමට තබා තිබූ කුරුණෑගල, හෙරලියාවල කර්මාන්ත පුරයේ පිහිටි “RICO TRADING CO (PVT) LTD” ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් 2026.07.27 වන දින සිදුකළ විශේෂ වැටලීමකදී, අදාළ ආයතනයේ ගබඩා කර තිබූ මෙලෙස ව්‍යාජ ලෙස SLS ලාංඡනය මුද්‍රණය කරන ලද ආරක්ෂිත හිස්වැසුම් 57ක් අත්අඩංගුවට ගන්නා ලදී.
2026 ජූලි 31 වන දින මෙම නඩුව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර කැඳවූ අවස්ථාවේදී, චෝදනාවට වරද පිළිගත් විත්තිකාර සමාගමට එදිනම ගරු මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 80,000/- ක දඩ මුදලක් නියම කරන ලදී.
තවද, නඩුවේ භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය සහිත ආරක්ෂිත හිස්වැසුම් විනාශ කිරීමට ද ගරු අධිකරණය විසින් නියෝග කෙරිණි.
















