කීරි සම්බා සහ පොන්නි සම්බා වැඩි මිලට අලෙවි කළ වැල්ලවායේ තොග සහ සිල්ලර වෙළෙඳසැල් දෙකට රුපියල් 300,000ක දඩයක් අධිකරණය විසින් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (09) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එම නිල නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පනවා ඇති උපරිම සිල්ලර මිල ගණන් උල්ලංඝනය කරමින් වැඩි මිලට සහල් අලෙවි කළ වැල්ලවාය ප්‍රදේශයේ ප්රමුඛ පෙළේ තොග සහ සිල්ලර වෙළෙඳසැල් දෙකකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
පරණ ඇල්ල පාර, වැල්ලවාය පිහිටි සෘභාග්යා වෙළඳසැල මඟින් දේශීය කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රු. 260/- ක් ලෙස නියම කර තිබියදී, කිලෝ 05ක ඇසුරුමක් කිලෝව රු. 350/- බැගින්, එනම් රු. 450/- ක ලාභයක් ලබමින් තොග වශයෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. 2026.08.07 වන දින වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයේදී අදාළ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුට රුපියල් 150,000/- ක (ලක්ෂ එකහමාරක) දඩයක් නියම කෙරුණා.
එමෙන්ම, යාලබෝව, වැල්ලවාය පිහිටි DMA සහෝදරයෝ (දවස පොල කඩේ) ආයතනය මඟින් ආනයනික පොන්නි සම්බා GR 11 සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රු. 240/- ක් ලෙස නියම කර තිබියදී, කිලෝව රු. 260/- බැගින් වැඩි මිලට සිල්ලරට අලෙවි කිරීම සම්බන්ධයෙන් නඩු පවරන ලදී. 2026.08.07 වන දින අධිකරණයේදී අදාළ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුට ද රුපියල් 150,000/- ක (ලක්ෂ එකහමාරක) දඩයක් නියම කරන ලදී.
පාලන මිල ඉක්මවා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන්න.














