පාරිභෝගික අධිකාරී පනත දැඩිව උල්ලංඝනය කළ පෞද්ගලික රෝහලකට සහ වෛද්‍ය සායනයකට රුපියල් ලක්ෂ 4ක දඩයක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධානයන් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කළ යාපනය ප්‍රදේශයේ Northern Central Hospitals (Pvt) Ltd නම් පෞද්ගලික රෝහලකට සහ වෛද්‍ය සායනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණේය.

මෙම නඩු පැවරීමට අදාළ වැටලීම පසුගිය ජූලි 29 වැනි දින සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය.

මෙම වැටලීමේ දී ඇස් සැත්කම් සඳහා භාවිත කරන කල් ඉකුත් වූ ඖෂධ දියර වර්ග වන Tropicamise with phonlyphone Auromidpls 5ml ශීතකරණයේ තබා ප්‍රදර්ශනය කිරීම, ඖෂධ සූදානම් කරන ස්ථානයේ කල් ඉකුත් වූ Ether Liquid සහ Hydrogen Peroxide භාවිතය සඳහා තබා ගැනීම සහ කල් ඉකුත් වූ සැත්කම් උපකරණ වන Sterile Plashmatube ප්‍රදර්ශනය කිරීම යන චෝදනා තුනක් යටතේ නඩු පවරන ලදී.

මෙම නඩුව ඊයේ (04) අධිකරණය හමුවේ විභාගයට ගත් අතර  දඩ නියම කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අධිකරණය හමුවේ චෝදනා තුනටම වරද පිළිගැනීමෙන් අනතුරුව, එක් චෝදනාවකට රුපියල් 100,000/- බැගින් රුපියල් 300,000/-ක (ලක්ෂ තුනක) දඩයක් ගරු අධිකරණය විසින් නියම කරන ලදී.

මේ අතර යාපනය නාවලර් පාරේ New Sun Rise Medi Clinic ආයතන සම්බන්ධයෙන් වැටලීමක් ජූලි 14 වන දින කරන ලද අතර රසායනාගාරයක් මඟින් සිදුකරනු ලබන Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවක් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති රුපියල් 400/-ක උපරිම ගාස්තුව ඉක්මවා රුපියල් 550/-ක් අය කිරීම මඟින් විධාන අංක 67 උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු පවරන ලදී.

මෙම කරුණ සම්බන්ධයෙන් නඩුව ඊයේ (04) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 100,000/-ක (ලක්ෂයක) දඩයක් අධිකරණය විසින් නියම කරන ලදී.

 විශේෂ අධිකරණ නියෝගය

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 60(6) වගන්තිය අනුව මෙම වෛද්‍ය ආයතන දෙකට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දු පිළිබඳ විස්තර මහජන දැනගැනීම සඳහා පුවත්පත්වල පළ කරන ලෙසද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website