මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට හඩපට, ඡායාරූප සමගම ලිඛිතව පැමිණිල්ලක් යොමුකිරීම සඳහා 118.pubsec.gov.lk නිල වෙබ් පිටුව විවෘතයි
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන රාජ්‍ය ආයතනයක් සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත්කිරීම සඳහා මෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත යම් තොරතුරක් ලබාදීම සඳහා මහජනතාවට විවෘත 118 හදිසි ඇමතුම් සේවාව අද (03) අද දින 118.pubsec.gov.lk නිල වෙබ් පිටුව එළිදැක්වීමත් සමඟ වඩාත් පුළුල් මහජන සේවාවක් බවට පත්විය.
මේ අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සම්බන්ධකරගැනීම සඳහා එම අමාත්‍යංශය විසින් මෙතෙක් ලබාදී තිබෙන 118 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලබාගෙන පැමිණිල්ලක් හෝ යෝජනාවක් වාචිකව ඉදිරිපත්කිරීමට අමතරව මෙතැන් සිට 118.pubsec.gov.lk වෙබ් දිගුව (Link) ඔස්සේ Public Security Help Desk වෙබ් පිටුව වෙත පිවිස ආදාළ පැමිණිල්ල යතුරු ලියනය (Type) කර යොමුකිරීමේ හැකියාව පවතී. මෙහි විශේෂත්වය නම් එම පැමිණිල්ල සඳහා Attach යටතේ හඩපට, ඡායාරූප ඇතුලත් කර යොමුකළ හැකිවීමයි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා විසින් 2026.08.03 වන දින උදෑසන බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ මේ වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන 118 මහජන ආරක්ෂක සේවා මැදිරිය විවෘත කර මෙම නව වෙබ් පිටුව මහජනතාවගේ භාවිතය සඳහා විවෘත කළ අතර අදහස් දක්වමින් සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව, නීති විරෝධී ගිනි අවි සම්බන්ධව, සංවිධානාත්මක රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධව ඔබ දන්නා තොරතුරු මෙම වෙබ් පිටුව ඔස්සේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සෘජුවම දැනුවත් කළ හැකි බව ප්‍රකාශ කළේය.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා සෘජුවම සම්බන්ධකරගැනීමේ අවස්ථාවද මෙමගින් සලසා ඇති අතර ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධව, මහජන ආරක්ෂාවට අදාළ රාජ්‍ය ආයතනයක් හෝ යම් නිලධාරියෙකු සම්බන්ධව පැමිණිලි කර එම පැමිණිල්ල වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සම්බන්ධව පසුවිපරම් කිරීමේ හැකියාවද මෙම වෙබ් පිටුව මගින් සලසා තිබේ.
ශ්‍රී ලංකා පොලිසියට අමතරව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වන ආගමන විගණන දෙපාර්තමේන්තුව, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය පුනරුත්තාපන කොමසාරිත් ජනරාල් කාර්යාලය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන පිළිබඳව මහජන පැමිණිලිද මෙම වෙබ් පිටුව ඔස්සේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරිදි මෙම පහසුකම ව්‍යාජ, අසත්‍ය තොරතුරු ලබාදීම සඳහා අවභාවිතා නොකර රාජ්‍ය ආයතනයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම තොරතුරු ලබාදී රාජ්‍ය සහ මහජන ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම මෙන්ම නීති විරෝදී ජාවාරම් මැඩලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට මෙම සේවාවන් උපයෝගී කරගන්නා මෙන් ඉල්ලා සිටිමු.














