පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණය අද (ජූලි 31) මරණ දඬුවම නියම කළේය.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග විය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන් තීන්දු කළේ, අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර වරදකරු කරන බව ය. විනිසුරු විරාජ් වීරසූරිය එම තීන්දුවට පක්ෂ නොවී වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව හිටපු පොලිස්පතිවරයාට එරෙහිව ලබා දුන් තීන්දුව ‘බෙදුණු තීන්දුවක්’ ලෙස ප්‍රකාශයට පත්විය.
මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් සාපරාධී වගකීම පැහැරහැරීමෙන් මිනිමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණ දඬුවම නියම කිරීමට ද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) නියෝග කළේය.














