වර්ෂාපතනයක් නොලැබුණ ද ලබුගම සහ කලටුවාව ජලාශවල වත්මන් ජල මට්ටම් ඉදිරි මාස තුන තුළ අඛණ්ඩ ජල සැපයුමක් සහතික කිරීමට ප්‍රමාණවත් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
එල් නිනෝ සංසිද්ධිය හේතුවෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනය සාමාන්‍යයට වඩා අඩු වන බව කාලගුණ විද්‍යාඥයින් විසින් අනාවැකි පළ කර ඇති තත්ත්වය හමුවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විශේෂඥයින් විසින් කරන ලද තක්සේරු කිරීම් මගින් ලබුගම සහ කලටුවාව ජලාශවල වත්මන් ජල ගබඩා මට්ටම් ඉදිරි මාස තුන තුළ අඛණ්ඩ ජල සැපයුමක් සහතික කිරීමට ප්‍රමාණවත් බව තහවුරු කර ඇති බව අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළේය.
ඉදිරි මාස දෙක තුළ බලධාරීන් කිසිදු අවදානමක් අපේක්ෂා නොකරන බව කී ජල සම්පාදන අමාත්‍යවරයා කෙසේ වෙතත්, අනාගත කාලගුණික තත්ත්වයන් අනුව තත්ත්වය වෙනස් විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
“වියළි කාලගුණික තත්ත්වය සමනය වන තුරු වගකීමෙන් යුතුව ජලය භාවිතා කරන්න” ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙ අතර දිවයින පුරා ප්‍රදේශ කිහිපයක් දැනටමත් දැඩි වියළි කාලගුණික තත්ත්වයන් අත්විඳිමින් සිටින අතර, ගොවීන් වාර්තා කරන්නේ ජල මූලාශ්‍ර ගණනාවක් වියළී ගොස් ඇති බවත්, එමඟින් වගා ඉඩම්වලට හානි සිදුවන බවත්ය.












