ඔබේ හෙල්මට් එක ශ්‍රී ලංකා ප්‍රමිතියට / SLS අනුකූල විය යුත්තේ ඇයි ?: ඔබේ හිසට ආදේශයක් නැහැ

🇱🇰 ශ්‍රීලංකා ප්‍රමිතිය වැදගත් වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS 517 ප්‍රමිතිය අදාළ වේ.

මෙම ප්‍රමිතියට අනුකූල හෙල්මට් එකක්, අපේ රටේ මාර්ග භාවිතය, දේශගුණික තත්ත්වය සහ පාරිභෝගික ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අවශ්‍ය ආරක්ෂිත මට්ටම සපුරාලන ආකාරයට නිර්මාණය කර තිබිය යුතුයි.

SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබීමෙන්, එම හෙල්මට් වර්ගය අදාළ ප්‍රමිති අවශ්‍යතා අනුව ඇගයීමට ලක්කර ඇති බවට පාරිභෝගිකයාට වැදගත් තහවුරුවක් ලැබෙනවා.

පිටතින් හොඳට පෙනෙන හැම හෙල්මට් එකක්ම ආරක්ෂිතද?

නැහැ. බාහිර පෙනුමෙන් හොඳට තිබුණත්, ප්‍රමිතියෙන් තොර හෙල්මට් එකක,

  • කවචය ඉතා දුර්වල විය හැකියි.
  • අභ්‍යන්තර බලපෑම් අවශෝෂණ ස්තරය ප්‍රමාණවත් නොවිය හැකියි.
  • නිකට පටිය හෝ බකලය අනතුරකදී ගැලවිය හැකියි.
  • හිසට නිසි ලෙස සවි නොවිය හැකියි.
  • අනතුරකදී අවශ්‍ය ආරක්ෂාව ලබා නොදිය හැකියි.

අනතුර සිදු වූ පසු හෙල්මට් එක හොඳද නරකද කියලා පරීක්ෂා කරලා ප්‍රයෝජනයක් නැහැ. නිවැරදි තීරණය ගන්න ඕනේ මිලදී ගැනීමට පෙරයි.

DOT, ECE හෝ වෙනත් විදේශීය ලාංඡන තිබුණාම ප්‍රමාණවත්ද?

විදේශීය සහතික ලාංඡනයක් තිබීම වැදගත් විය හැකි වුවත්, ශ්‍රී ලංකාවේ අලෙවිය සඳහා අදාළ නීතිමය අවශ්‍යතාව අනුව SLS ප්‍රමිති සහතික ලාංඡනයද තිබිය යුතුය.

ඒ නිසා “DOT තියෙනවා”, “ECE තියෙනවා” හෝ “Original Imported” කියන වචන අසා පමණක් මිලදී ගන්න එපා.

හෙල්මට් එකක් මිලදී ගැනීමට පෙර බලන්න

  • SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබේද?
  • ලාංඡනය පැහැදිලි හා සැකසහිත නොවන එකක්ද?
  • නිෂ්පාදකයා හෝ ආනයනකරුගේ විස්තර තිබේද?
  • නිකට පටිය සහ බකලය හොඳින් ක්‍රියාකරනවාද?
  • හෙල්මට් එක හිසට නිසි ලෙස ගැළපෙනවාද?
  • කවචයේ කැඩීම්, ඉරිතැලීම් හෝ වෙනස්කම් තිබේද?
  • නිසි බිල්පතක් ලබාදෙනවාද?

 බිල්පතත් වැදගත්

බිල්පතක් කියන්නේ මිලදී ගැනීමේ සාක්ෂියක්. හෙල්මට් එකේ ගුණාත්මකභාවය, සහතිකය හෝ වෙළෙඳුන්ගේ වගකීම සම්බන්ධ ගැටලුවක් ඇති වූ විට එය ඔබට ඉතා වැදගත් වේ.

ඔබේ හිසට ආදේශයක් නැහැ

  • අඩු මිලකට ගත් ප්‍රමිතියෙන් තොර හෙල්මට් එකක්, අනතුරකදී ඔබට අතිවිශාල මිලක් ගෙවීමට හේතු විය හැකියි.
  • හෙල්මට් එකක් තෝරද්දී පාටට වඩා ප්‍රමිතිය බලන්න.
  • වෙළෙඳ නාමයට වඩා ආරක්ෂාව බලන්න.
  • මිලට වඩා ජීවිතය වැදගත් කරගන්න.

 SLS ලාංඡනය නොමැති හෙල්මට් අලෙවි කරන ස්ථාන පිළිබඳ තොරතුරු කාර්යාල වේලාවන් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන්න.

ඉහත ඡායාරූපය AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ ඡායාරූපයකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website