“වරාය ව්‍යාපාරය ගොඩනැගී ඇත්තේ ගබඩා ගාස්තු වලින් ලැබෙන ආදායම මත නොව, භාණ්ඩ කාර්යක්ෂමව ප්‍රවාහනය කිරීම මත” බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තම වාහන ගබඩා ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.
“වරාය සැලසුම් කර ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සැලසීමට මිස දිගුකාලීන වාහන ගබඩා අංගන ලෙස සේවය කිරීමට නොවේ. මාස ගණනක් හෝ වසර ගණනාවක් වරායේ රැඳී සිටින සෑම වාහනයක්ම නව භාණ්ඩ හැසිරවීමට සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ සැපයුම් අංශයේ අඛණ්ඩ වර්ධනයට සහාය වීමට අවශ්‍ය වටිනා මෙහෙයුම් අවකාශය අත්පත් කර ගනී,” යනුවෙන් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ආනයනකරුවන් ආනයනය කරන ලද වාහන 1000කට වඩා නිදහස් කර ගෙන නොමැති බවත්, පසුව හම්බන්තොට වරායේ ගබඩා කර ඇති බවත්, වාහන 625 ක් රටට පැමිණ මාස 6 කට වැඩි කාලයක් එහි පවතින බවත් මාධ්‍ය වාර්තා කිරීමෙන් පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය මෙම නිවේදනය නිකුත් කර ඇත.
වරායේ දැනට වාහන 50,000කට වඩා (ප්‍රතිනැව්ගත කිරීම සහ දේශීය ආනයන යන දෙකම) ගබඩා කර ඇති බවත්, ආසන්න වශයෙන් 1278ක් මාස 03කට වැඩි කාලයක් අංගනයේ තබා ඇති බවත්, වාහන 581ක් වසරකට වැඩි කාලයක් වරායේ රැඳී ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
















