කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර 23කට නඩු පවරා රුපියල් මිලියන 5.7ක දඩ මුදල් අයකර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල්, වෛද්‍ය රසායනාගාර සහ ඖෂධ සැල් ඉලක්ක කර ගනිමින් විශේෂ විමර්ශන හා වැටලීම් මාලාවක් සිදු කරන ලදී.
මෙම විමර්ශනවලදී මහජනතාවගේ ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂාවට අහිතකර ලෙස බලපෑ හැකි බරපතළ අක්‍රමිකතා රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.
ප්‍රධාන වශයෙන් අනාවරණය වූ වැරදි
- රෝග විනිශ්චය සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදා ගන්නා කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිතයට ගැනීම සහ භාවිතයට සූදානම් කර තබා ගැනීම.
- කල් ඉකුත් වූ ඖෂධ වර්ග රෝගී සත්කාර සඳහා භාවිතයට තබා ගැනීම සහ පාරිභෝගිකයන්ට අලෙවි කිරීම.
- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම මිල ගණන් ඉක්මවා රසායනාගාර පරීක්ෂණ සඳහා ගාස්තු අය කිරීම.
- කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය, කල් ඉකුත් නොවූ රසායනික ද්‍රව්‍ය සමඟ වෙන් කිරීමකින් තොරව එකම ස්ථානයක ගබඩා කර තැබීම.
මෙවැනි වගකීම් විරහිත සහ නීතියට පටහැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර 23කට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ අධිකරණ හමුවේ නඩු පවරා ඇත.
මේ දක්වා පවරන ලද නඩු 23 සම්බන්ධයෙන් , අධිකරණ මගින් නියම කර ඇති සමස්ත දඩ මුදල රුපියල් පනස් හත් ලක්ෂ අනූ අට දහසක් — රු. 5,798,000/- වේ.
මෙසේ දඩ මුදල් නියම කරන ලද ආයතන අතර, ලංකා හොස්පිටල් ඩයොග්නොස්ටික් (ප්‍රයිවට්) ලිමිටඩ්, ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පී.එල්.සී, ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස්, නවලෝක ලැබෝරටරිස් පුද්ගලික සමාගම, කිංග්ස් හොස්පිටල් කලම්බු පුද්ගලික සමාගම, ඩර්ඩන්ස් හොස්පිටල්, Durdans Medical Center (Pvt) Ltd, මූපකාර රෝහල MPCS සමාගම, Lanka Hospital Diagnostics (Pvt) Ltd ඇතුළු ආයතන 23ක් වේ.
විමර්ශනයට ලක් කළ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් ද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතය.
මහජන සෞඛ්‍යයට සහ පාරිභෝගික ආරක්ෂාවට තර්ජනයක් වන මෙවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙවැනි අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටී.









