මම අවදානම් සහිත ගොවි පවුලක ගෙවිලියක් වෙමි. SARP ව්‍යාපෘතිය හරහා බිංදු ජල සම්පාදනය, කෘමි ආරක්ෂිත දැල්, මල්ච් සහ තාක්ෂණික පුහුණුව හා උපකරණ ලබාගෙන නවීන මිරිස් වගා ක්‍රම අනුගමනය කිරීමට හැකි විය. ඒ මඟින් අස්වැන්න හා ආදායම වැඩි කර ගැනීමටත්, නිෂ්පාදන වියදම් අඩු කර ගැනීමටත්, මගේ පවුලේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත් හැකි විය.
දේශගුණික විපර්යාස හමුවේ කෘෂිකාර්මික නිෂ්පාදනය තිරසාරව පවත්වාගෙන යාම සහ සුළු පරිමාණ ගොවීන්ගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමේ අරමුණින්, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) යටතේ දෙමුහුන් (Hybrid) අමු මිරිස් වගා වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
ව්‍යාපෘති බල ප්‍රදේශවල සුළු පරිමාණ ගොවීන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අහිතකර තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව සීමා වීමයි. එම තත්ත්වයට පිළියමක් ලෙස නවීන කෘෂි තාක්ෂණය හඳුන්වාදීම, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Good Agricultural Practices – GAP) ප්‍රවර්ධනය කිරීම සහ සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම තුළින් ගොවීන්ගේ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි. ඒ අනුව, උසස් තත්ත්වයේ දෙමුහුන් අමු මිරිස් ප්‍රභේද, නවීන වගා තාක්ෂණික ක්‍රම, ජල කළමනාකරණ විසඳුම් සහ GAP ක්‍රමවේදයන් භාවිතයට ගනිමින් ගොවීන්ගේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම, නිෂ්පාදන ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ස්ථාවර ආදායම් මාර්ග ඇති කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන අතර, දේශගුණික අවදානම්වලට මුහුණ දිය හැකි තිරසාර කෘෂිකාර්මික පද්ධති සංවර්ධනය කිරීම තුළින් සුළු පරිමාණ ගොවීන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම එහි අපේක්ෂිත ප්‍රතිඵලය වේ.
2025/2026 යල කන්නය සඳහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන යටතේ ඉහළ අස්වැන්නක් ලබාදෙන MICH 1 දෙමුහුන් අමු මිරිස් ප්‍රභේදය ප්‍රචලිත කිරීමත්, බිංදු ජලසම්පාදන පද්ධති (Drip Irrigation System) සහ පොලිතින් වසුන් (Poly Mulch) වැනි නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතයට ගෙන ඒමත් සිදු කෙරේ. මෙම වගා ක්‍රමවේදයන් මඟින් ජලය කාර්යක්ෂමව භාවිතා කරමින් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 18 සිට 22 දක්වා ඉහළ අස්වැන්නක් ලබාගැනීම ඉලක්ක කර ඇත. ඒ සමඟම, තිරසාර කෘෂිකර්මාන්තය, ජල සංරක්ෂණය සහ ග්‍රාමීය සංවර්ධනය සම්බන්ධ ජාතික අරමුණු සමඟ අනුකූලව වගා කටයුතු ප්‍රවර්ධනය කිරීමද මෙම වැඩසටහනේ වැදගත් අංගයකි.
මෙම ව්‍යාපෘතිය අනුරාධපුර, කුරුණෑගල, වව්නියාව, මන්නාරම සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන අතර, ගොවීන් 300 දෙනෙකු වෙත MICH 1 දෙමුහුන් අමු මිරිස් ප්‍රභේදය හඳුන්වාදීම, නවීන ජල කළමනාකරණ ක්‍රම ප්‍රවර්ධනය කිරීම සහ GAP ප්‍රමිතීන්ට අනුකූල උසස් තත්ත්වයේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම ලබාදීම සිදු කෙරේ. එමඟින් අස්වැන්න වැඩිදියුණු කිරීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, වෙළෙඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීම සහ ගොවීන්ගේ තාක්ෂණික දැනුම හා කුසලතා වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ. මේ හරහා සුළු පරිමාණ ගොවි පවුල් සඳහා තිරසාර ආදායම් මාර්ග ගොඩනැගීමට ද සැලකිය යුතු දායකත්වයක් ලැබේ.
වව්නියාව දිස්ත්‍රික්කයේ අන්ඩියාපුලියන්කුලම් ග්‍රාම නිලධාරී වසමේ මෙම වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ගොවීන් සිය අස්වැන්න නෙළීම ආරම්භ කර ඇත. අස්වැන්න ඉහළ යාමත් සමඟ අමු මිරිස් සඳහා ඉහළ වෙළෙඳපොළ මිලක් ලැබීම හේතුවෙන් පවුල් ආදායම සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව ප්‍රතිලාභීන් සඳහන් කරති. එමෙන්ම, මෙවැනි නවීන තාක්ෂණයන් භාවිතය මඟින් වෙනස්වන කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරමින් ගොවි පවුල්වල ජීවනෝපායන් ශක්තිමත් කිරීමටද මෙම වැඩසටහන දායක වෙමින් පවතී.
2026/2027 මහ කන්නයේදී මෙම දෙමුහුන් (Hybrid) අමු මිරිස් වගා වැඩසටහනේ තවත් අදියරක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ මඟින් නවීන දේශගුණ හිතකාමී වගා තාක්ෂණයන්ගෙන් තවත් සුළු පරිමාණ ගොවීන්ට ප්‍රතිලාභ ලබාදීම අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට කැමති ගොවීන් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) අමතා 011 2770986 දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
මොන්ටි රණතුංග මහතා – ව්‍යාපෘති අධ්‍යක්ෂ, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය















