
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2021 සිට 2024 දක්වා වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA/කෝපා) දීර්ඝ ලෙස සලකා බැලීය.
ඒ, එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී විභාග දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය, තොරතුරු තාක්ෂණ පද්ධති භාවිතය, මානව සම්පත් කළමනාකරණය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.
එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය සහ සේවා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.
විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයන්ට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ කාරක සභාව, ඉතිරි නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජික නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ සහ සුගත් තිලකරත්න යන මහත්වරුන් ද, කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චානක මාදුගොඩ, ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, හෙක්ටර් අප්පුහාමි, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි, වෛද්‍ය ජනක සේනාරත්න සහ සුනිල් රත්නසිරි යන මහත්වරු ද සහභාගි වූහ.














