වෙනිසියුලාවේ කරාකස් අගනුවරට බලපෑ ප්‍රබල භූමිකම්පා දෙකකින් එහි ගොඩනැගිලි විනාශ වී තිබේ. පළමු භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් වූ අතර, දෙවන භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ7.5ක් විය. මෙම ආපදා තත්ත්වයත් සමග වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තේ ය.
භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 164ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙනිසියුලාවේ තාවකාලික (අන්තර්වාර) ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් පැවසූ බව රොයිටර් සහ AFP පුවත් සේවය වාර්තා කර ඇත.
භූමිකම්පා වලින් දැඩිව බලපෑමට ලක්වූ ප්‍රාන්තයේ වන්නේ කරාකස් අගනුවරට උතුරින් පිහිටා ඇති ලා ගුයිරා ජනාධිපතිවරිය පැවසුවාය. එම ප්‍රාන්තයේ ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් කඩා වැටී ඇති බවත් එය “ආපදා කලාපයක්” සහ “සැබෑ ඛේදවාචකයක්” බව ද ඇය වැඩි දුරටත් පැවසුවාය.
මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි බියක් පවතින අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ මරණ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවීම සඳහා 44% ක සම්භාවිතාවක් ඇති බවයි.
සිදුව ඇති හානි හේතුවෙන් වෙනිසියුලාවේ ප්‍රධාන ගුවන් තොටුපළ ද වසා දමා තිබේ.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ වෙනිසියුලාවේ සිදුව ඇති භූමිකම්පාවෙන් “විනාශකාරී මරණ සංඛ්‍යාවක්” සමඟ “දැවැන්ත හානියක්” සිදුව ඇති බවයි.
මේ අතර වෙනිසියුලාවේ සහන සේවා සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෛද්‍ය ආධාර සහ සහන සේවා කණ්ඩායම් යොමු කරන බවට පොරොන්දු වී ඇත.
















