වාරිමාර්ග දෙපාර්තමේන්තුව පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කරයි.
අද (13) උදෑසන 6.00 වන විට මෙම තත්ත්වය වාර්තා වී ඇති බව පැවසුවේය.
වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මාගල්ල සහ දැදුරුඔය ජලාශ ද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශ ද, මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටආර ජලාශය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව ද වේ.
මේ වන විට රාජාංගන ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කෙරෙමින් පවතින අතර ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,100කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරේ. වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,400කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත මුදාහැරෙමින් පවතින අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 1 බැගින් විවෘත කර ඇති අතර, එමඟින් තත්පරයට ඝන අඩි 2,800ක ජල ප්‍රමාණයක් දැදුරුඔයට නිකුත් කෙරේ.
මේ හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාව වැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ද වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.












