මට පුද්ගලික න්‍යාය පත්‍රයක් හෝ පුද්ගලයෝ ඉලක්ක කර ගෙන කතා කිරීමේ අවශ්‍යතාවක් නැහැ – හිටපු අමාත්‍ය රවී කරුණානායක

ඇත්ත වශයෙන්ම මේක පුදුමාකාර දෙයක්. මේ රටේ ප්‍රමුඛ පෞද්ගලික බැංකුව තමයි මේ සොරකම සිදු වුණේ. මේකට කී දෙනෙක් සම්බන්ධයි ද කියලා අපි දන්නේ නැහැ. නමුත් එක් පුද්ගලයෙක්ගේ මොළේ පාවිච්චි කරලා, බැංකු පද්ධතියේ තිබෙන දුර්වලතා පාවිච්චි කරලා ඔවුන් රුපියල් මිලියන 13,200ක් වංචනිකව ලබා ගෙන තිබෙනවා. මේක සුවිශේෂයි. ඒකට හේතුව තමයි Customer Electronic Transfer Fund – CETF කියන්නේ සුවිශේෂ ගිනුමක්. ඒකේ අතිරිත්තය මිලියන පහක් පමණයි. නමුත් මේ කණ්ඩායම අවුරුදු තුනක් පුරා ගනුදෙනු 3000කට අධික ප්‍රමාණයක් කරලා තමයි මේ රුපියල් මිලියන 13,200කට අධික මුදල වංචා කළේ. මෙහි වැදගත්ම කරුණ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව තමයි වාණිජ බැංකු අධීක්ෂණය සහ නියාමනය කරන්නේ. නමුත් මහ බැංකුව මේ වංචාව ගැන කිසිවක් දන්නේ නැහැ. මහ බැංකුවට මේ අති දැවැන්ත වංචාව ගැන නොවැටහීම පුදුමාකාර තත්ත්වයක්, පුදුමයක්. තවත් වැදගත් කරුණක් ගැන මම මෙහි දී අවධානය යොමු කළ යුතුයි. මේ පරිගණකය හරහා මේ දැවැන්ත වංචාව කළ පුද්ගලයාගේ මේ දැනුම ගැන මෙරට මූල්‍ය අංශ අවධානය යොමු කළ යුතුයි. මේ පුද්ගලයා මේ දැවැන්ත වංචාව කළ තාක්ෂණය හඳුනා ගෙන ඉදිරි පූර්වාරක්ෂක පියවර ගන්න පුළුවන්. වෙනත් රටවල් වල මෙවැනි අති සූක්ෂම වංචා සිදු වුණ විට විමර්ශන කණ්ඩායම් අදාළ පුද්ගලයාගෙන් ඒ සම්බන්ධ දැනුම ලබා ගන්නවා. ඒ දැනුම හරහා අදාළ වැළැක්වීමේ පියවර සැලසුම් කරනවා. අනෙක් කාරණය තමයි රුපියල් මිලියන 13,200ක වංචාවක් සිදු වන විට මහ බැංකුව ඒ ගැන කිසිවක් දන්නේ නැහැ, සොයා බලන්නේ නැහැ. මේක රටේ මූල්‍ය පද්ධතියට බරපතළ ප්‍රශ්නයක්. මහ බැංකුව ඉන්නේ සෙසු බැංකු අධීක්ෂණය කරන්න, නමුත් ඒ අධීක්ෂණය නිසි පරිදි සිදු නොවුණ බව මේ වන විට තහවුරු වෙලා තිබෙනවා.

ඒක තමයි ප්‍රශ්නේ. සාමාන්‍ය මිනිහෙක්ගේ ගිනුමකට රුපියල් ලක්ෂයක් වැටුනොත් ඒක හම්බ වුණේ කොහොමද කියලා කියන්න ඕනෑ, බැංකුව ඒ ගැන අහනවා. නමුත් රුපියල් මිලියන 13,200ක් ගිනුමට වැටෙන කොට ඒක හොයා ගන්න බැරි වුණා කියන්නේ මාර ප්‍රශ්නයක් තමයි. ඒ කියන්නේ මහ බැංකුව හිරිහැර කරන්නේ නිවැරදිව කටයුතු කරන මිනිස්සුන්ට විතරයි. සිස්ටම් තියෙන්නේ පොඩි මිනිස්සු පීඩාවට පත්කරලා හොරු ආරක්ෂා කරන්න. මේකේ තියෙන බිහිසුණුම සහ නින්දා සහගත කාරණය තමයි මහ බැංකුව කියන්නේ මෙවැනි මූල්‍ය වංචා ගැන නිරන්තරයෙන් අවධියෙන් සිටින, ඒවා ගැන තොරතුරු රැස්කරන සහ ඒවා වළක්වා ගැනීමට උපදෙස් ලබා දෙන ආයතනයක්. නමුත් මූල්‍ය වංචාකරුවෝ මහ බැංකුවෙත් කනෙන් රිංගන භයානකයි.

මම හැමදාම කිව්ව කතාවක් තමයි, මහ බැංකුවට ස්වාධීනත්වය දිය යුතුයි වගේම ඔවුන් ඒ ස්වාධීනත්වය අනුව කටයුතු කළ යුතුයි. නමුත් එදත් – අදත් මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය තුළ අපි අපේක්ෂා කරන වෘත්තීයභාවය දකින්න නැහැ. මේ  රටේ ආර්ථික වර්ධනය ඇති කරන්න මහ බැංකුව මීට වඩා විශාල වැඩ කොටසක් කළ යුතුයි, ඒ වගේම මහ බැංකුව තුළ පුර්ණ වෙනසක් කළ යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව තමයි මහ බැංකුව ස්වාධීන ආයතනයක් කළේ. නමුත් ඒ ස්වාධීනත්වය තුළ රටේ මූල්‍ය පද්ධතියේ වැඩි දියුණු කිරීමක්, ඉදිරියට යාමක් සිදුවෙලා නැහැ.

මට පුද්ගලික න්‍යාය පත්‍රයක් හෝ පුද්ගලයෝ ඉලක්ක කර ගෙන කතා කිරීමේ අවශ්‍යතාවක් නැහැ. මම කතා කරන්නේ පරිපාලන දුර්වලතාවක් තිබෙන මහ බැංකුවක් ගැනයි. මගේ අදහස අනුව ප්‍රායෝගික දැනුමින් තොර පිරිසක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු කරන්නේ. ඒ දුර්වලතාව මේ අවස්ථාවේ ඉස්මතු වෙලා තිබෙනවා. මේ ප්‍රායෝගික දැනුමෙන් හා අවබෝධයෙන් තොර පරිපාලනය විසින් ඔප්පු කරලා තිබෙනවා න්‍යායයෙන් පමණක් මහ බැංකුවක් පරිපාලනය කරන්න බැහැ කියලා.

මුදල් අමාත්‍යවරයාට වගකීමක් වගේම වගවීමකුත් තිබෙනවා. නමුත් මේකේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතුයි. අධීක්ෂණය කිරීමේ වගකීම තිබෙන්නේ ඔවුන්ටයි. අපි හිතනවා මුදල් අමාත්‍යාංශය හරහා තමයි සියල්ල වෙන්නේ කියලා. නමුත් ඇත්ත තත්ත්වයට ඊට වෙනස්. 2023 සැප්තැම්බර් මාසයේ සිට රටේ මූල්‍ය පැත්ත 100%ක්ම සිදුවෙන්නේ මහ බැංකුව හරහා. අපි විපක්ෂ මන්ත්‍රීවරු විදිහට මුදල් අමාත්‍යවරයාට නිකරුණේ ඇඟිල්ල දික් කිරීම තේරුමක් නැහැ. ඇත්ත තත්ත්වය ජනප්‍රිය කතාවට වඩා වෙනස්. පසුගිය කාලය පුරාම මම සටන් කළේ මහ බැංකුව තුළ මේ ධනාත්මක වෙනස කරන්නයි. පසුගිය කාලය පුරාම මේ රටේ යම්කිසි ආකාරයක මූල්‍ය ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒක ඇති වුණේ ශ්‍රී ලංකා මහ බැංකුව තුළින්.

ඔබ නිවැරදිව තත්ත්වය විශ්ලේෂණය කර ගෙන තිබෙනවා. යමක් හොඳ වෙන කොට, සාර්ථක වෙන කොට මහ බැංකුව ඒකේ ලකුණු දා ගන්නවා. නමුත් ප්‍රශ්නයක් ඇති වෙන විට මහ බැංකුව අනෙක් අයට ඇඟිල්ල දික් කරනවා. මෙන්න මේක තමයි මහ බැංකුව අවුරුදු හැත්තෑ ගණනක් පුරා කළේ. ඔවුන් නිරන්තරයෙන්ම වැරැද්ද අනෙක් පාර්ශ්වයක් වෙත යොමු කරනවා. පසුගිය කාලය පුරාම බැංකු ගණනාවක්, මූල්‍ය ආයතන ගණනාවක් කඩා වැටුණා. ඒ කිසිම අවස්ථාවක මහ බැංකුව වගකීම භාර ගත්තේ නැහැ.

ඒකත් ප්‍රශ්නයක් තමයි. බොහෝ අයට ඒ ගැන ප්‍රශ්න කරන්න තරම් කොන්දක් නැහැ.

අවශ්‍ය තරම් උදාහරණ තිබෙනවා. ඉතාම ප්‍රබල උදාහරණය ගනිමු, 2022 දී බංකලොත්භාවය ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව නෙමෙයි, ඒක ප්‍රකාශ කළේ මහ බැංකුව. මහ බැංකුව තමයි කිව්වේ ‘අපිට ණය ගෙවන්න බැහැ’ කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148,149, 50 සහ 51 වගන්ති අනුව මූල්‍ය බලතල මහ බැංකුවට තිබුණට, බංකලොත්භාවය ප්‍රකාශ කරන්න පාර්ලිමේන්තුව අවසර දුන්නේ නැහැ. ඒත් මහ බැංකුව කිව්වා ‘අපට ණය ගෙවන්න බැහැ’ කියලා. අපි, පාර්ලිමේන්තුව මේ ගැන මහ බැංකුවෙන් ප්‍රශ්න කළා, ඒ ප්‍රශ්නයට ඔවුන් (මහ බැංකුව) දුන්න උත්තරේ කුමක්ද ?, (මේ ප්‍රකාශය ආවේ මුදල් අමාත්‍යාංශයෙන්) ‘මේ සම්බන්ධ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී පාර්ලිමේන්තුව කිසිවක් නොකී නිසා, ඒකට පාර්ලිමේන්තුවේ අවසරය ලැබුණා කියලා පිළිගත්තා’ කියලා මුදල් අමාත්‍යාංශය කිව්වා. මේක තමයි එදා වු‍ණේ.

රට බංකලොත් වුණාට පස්සේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආරාධනා කළේ.  ඔවුන් තමයි මහ බැංකුව ස්වාධීන කරන්න කියලා බලපෑම් කළේ. 2023 මහ බැංකුව ස්වාධීන කළ පනතේ අරමුණ කුමක් ද ?, මහ බැංකුවේ වගකීම වන්නේ උද්ධමනය පාලනය කිරීම සහ ආර්ථිකය පරිපාලනය කිරීම පමණයි. ඒ අනුව මහ බැංකුව කිසිවෙකුට, පාර්ලිමේන්තුවට වගකිව යුතු නැහැ. ආර්ථික වර්ධනය, සංවර්ධනය, රැකී රක්ෂා නිර්මාණය, විදේශ සංචිත රැස් කිරීම ආදි කිසිවක් ගැන ඔවුන් කටයුතු කළ යුතු නැහැ. ඔවුන් කළ යුත්තේ උද්ධමනය පාලනය කිරීම සහ ආර්ථික පරිපාලනය පමණයි. මේ හානිකර තත්ත්වය නිසා තමයි මම හැමදාම කිව්වේ මේ ගැටලුව නිවැරදි කරන්න කියලා. මහ බැංකුවට ස්වාධීනත්වය ලබාදීම වැරදියි කියලා මම කියනවා. මහ බැංකුවට තවත් වගකීම් පැවරිය යුතුයි. ඔවුන්ට ලබා දී තිබෙන ස්වාධීනත්වයට වගකීම් පැවරීම තුළින් පමණයි ඔවුන්ට නිසි ගරුත්වයක් ලැබෙන්නේ. මේ තත්ත්වය කඩිනමින් නිවැරදි කළ යුතුයි කියලා මම දැඩිව විශ්වාස කරනවා.

මම මෙහි කරුණු දෙකක් දකිනවා. එක ප්‍රසම්පාදනය. වත්මන් ආණ්ඩුවේ කටයුතු වලදී ප්‍රසම්පාදන කටයුතු නිසියාකාරව සිදුවෙන්නේ නැහැ. කළ යුතු වියදම් සම්බන්ධයෙන් තීන්දු ගන්නේ නැහැ. මගේ අදහස නම් ආණ්ඩුව ඵලදායී, සංවර්ධනාත්මක ව්‍යාපෘති වෙනුවෙන් හැකි තරම් මුදල් වියදම් කළ යුතුයි. ආණ්ඩුව එකතු කර ගන්න බදු මුදල්, ලබා ගන්නා ණය වියදම් කළ යුතුයි. මේවා ඉතිරි කළොත් රටේ ආදායම් අතිරිත්තයක් ඇති වෙනවා. නමුත් ඒ ආදායමට පොළී ගෙවන්න සිදු වෙනවා. ලබා ගන්න ණය ප්‍රමාණය ඉහළ යන්න ඉහළ යන්න ඒක ප්‍රශ්නයක් වෙනවා. මගේ අදහස නම් මේ අතිරිත්තය කියන එක වැරදි අදහසක්. ආණ්ඩුව පුළුවන් තරම් මුදල් වියදම් කළ යුතුයි, ඒවා රටේ සංවර්ධනයට වැය කළ යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑමට සම්මත කළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ දළ දේශීය නිෂ්පාදනයෙන් 13%ක් පමණයි පුනරාවර්තන වියදම් ලෙස වැය කළ හැකි වන්නේ. 4%ක් පමණයි ප්‍රාග්ධන වියදම් ලෙස කළ හැකි වෙන්නේ. මේ දෙකේ එකතුව තමයි සම්පූර්ණ රාජ්‍ය වියදම ලෙස සැලකෙන්නේ. ප්‍රාග්ධන වියදම් නොකර පුනරාවර්තන වියදම් පමණක් කළොත් රටේ සංවර්ධනයක් වෙන්නේ නැහැ, ආදායම් උත්පාදනයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආණ්ඩුව අතේ සල්ලි තිබුණට ඒවා වියදම් නොකරනවා නම් වැඩක් නැහැ.

මගේ නිරීක්ෂණය තමයි තීන්දු ගන්න බයයි. ඒකට හේතුව තමයි වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටි දීර්ඝ කාලය පුරා කළ විවේචන වල හැටියට බොහෝ දේවල් කරන්න බයයි. නමුත් ආණ්ඩුව විවේචනය කළත් නැතත් වෙන්න තියෙන දේවල් වෙනවා. ආණ්ඩු අතින් වැරදි වෙනවා, වැරදි වෙනවා කියන්නේ වංචා කරනවා කියන එක නෙමෙයි. ආණ්ඩුවක් ගන්න තීන්දු වැරදෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ස්වභාවය. 100%ක් නිවැරදි, සාර්ථක ආණ්ඩු මේ ලෝකේ නැහැ. මීට පෙර ආණ්ඩු කළ හැම දෙයක්ම විවේචනය කළ නිසා, වංචා, දූෂණ ලෙස ලේබල් කළ නිසා අද ආණ්ඩුව හිර වෙලා. අද රාජ්‍ය නිලධාරීන් වගකීමක් භාර ගෙන කටයුතු කරන්න බයයි. අද රාජ්‍ය නිලධාරීන් හිතන්නේ මොකක්ද ?, ‘වැඩක් කළේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ, ප්‍රශ්නයක් නැති නිසා වගකීමක් නැහැ’ කියලා. ඒ කියන්නේ වැඩ නොකර සිටීමෙන් ප්‍රශ්නයක් ඇති නොවෙන නිසා ඔවුන් වැඩ නොකර සිටිනවා. මේක බරපතළ තත්ත්වයක්. විපක්ෂයේ සිටිය දී කළ දේවල් වල ප්‍රතිඵල ඇස් පනාපිට දැකගත හැකි තත්ත්වයක්

ආණ්ඩුවක් කියන්නේ කැබිනට් මණ්ඩලය තුළ පරිපාලන තීරණ ගැනීම. කැබිනට් මණ්ඩලය තුළ අනුමත වන යම් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක්. ඒ වගකීම ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳි සිටිනවා. නමුත් එවැනි කටයුතුවල දී සිදුවන යම්කිසි අතපසු වීමක් හෝ පැහැර හැරීමක් අල්ලා ගෙන රාජ්‍ය නිලධාරීන්ට නඩු වැටීමේ, චෝදනා ගෙනු කිරීමේ ප්‍රශ්නයක් තමයි දැන් තිබෙන්නේ. ඒ නිසා තමයි අද රාජ්‍ය නිලධාරීන් වගකීමක් බාර ගෙන වැඩ කරන්න බය වෙලා ඉන්නේ.

හොඳ ප්‍රතිඵල ඇමතිවරයාටත්, හානියක් නම් ඒක නිලධාරීන්ටත් දාන්නේ කොන්දක් නැති පාලකයින්, ඒක කොන්දක් නැති පාලකයින්ගේ ස්වභාවය. දේශපාලනඥයින්, අමාත්‍යවරුන් කළ යුත්තේ නායකත්වය දීම, තීන්දු – තීරණ ගැනීම පමණයි. උදාහරණයක් ලෙස ක්‍රිකට් කණ්ඩායමක නායකයෙක් සෑම තරඟයක්ම ජයග්‍රහණය කළ යුතුයි කියලා නීතියක් නැහැනේ. නායකයා නිසි, නිවැරදි තීන්දු – තීරණ ගත යුතුයි. කල්යල් බලමින්, දාහක් දේවල් ගැන කල්පනා කරමින් තීන්දු ගන්න ගියොත් ඒක කවදාවත් කරන්න බැහැ. ආණ්ඩුව කළ යුත්තේ රාජ්‍ය නිලධාරීන්ට චෝදනා නොකර, ඔවුන්ට පවා නොදී රාජ්‍ය නිලධාරීන් සමඟ සහයෝගයෙන් සහ අවබෝධයෙන් කටයුතු කිරීමයි. සාමූහික වගකීමකින් තීන්දුවක් ගත්තොත් ඒකට සියලු දෙනාම වගකිව යුතුයි.

මේ ආණ්ඩුව දක්ෂයින්ට වැඩ කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. මේ රටේ තවත් නරක සංස්කෘතියක් තිබෙනවා. දක්ෂයෙක් වැඩ කරන්න ගියොත් ‘අන්න හොරෙක්’ කියලා ලේබල් ගහනවා. මේ ලේබල්කරණය නිසා දක්ෂ නිලධාරීන් පවා අද වැඩ කරන්නේ නැහැ. මේක බරපතළ තත්ත්වයක්. විනාශයට හේතුවක්.

මෙහි දී ආණ්ඩුව කළේ භාණ්ඩ හා සේවා බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමක් පමණයි. වැට් බද්ද ලෙස 18%ක් සහ සමාජ ආරක්ෂණ බද්ද ලෙස 2.5%ක් අය කළා. දැන් මේ දෙක එකට එකතු කරලා 20.5%ක් ලෙස නව බද්දක් නිර්මාණය කර තිබෙනවා. මගේ අදහස නම් මේ බදු ප්‍රමාණය වැඩියි. උපයන විට ගෙවන බද්දත් වැඩියි, භාණ්ඩ හා සේවා බද්දත් වැඩියි. මේ රටේ ජනතාවට මේක දරා ගන්න බැහැ.

මේක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ට බරපතළ ලෙස ලෙස බලපානවා. මේ ආණ්ඩුවට ව්‍යවසායකත්වය ගැන කිසිම දැනුමක් හෝ අවබෝධයක් නැහැ.

ඒ අනාවැකිය එදා රනිල් වික්‍රමසිංහ කිව්වා. ඒක අද ඔප්පු වෙලා තිබෙනවා. නමුත් නිවැරදි නිලධාරීන් තෝරා ගත්තා නම් ආණ්ඩුව මේ අවුලට වැටෙන්නේ නැහැ. ආණ්ඩුවට ඒ දක්ෂතාව පවා නැහැ.

ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කිරීම ගැන මම පුදුම වුණා. මේ සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් හොඳ ප්‍රකාශයක් කරලා තිබුණා. මම නීතිඥයෙක් නොවුණත් මටත් හිතෙනවා ජනාධිපතිවරයා කළේ වැරදි, නුසුදුසු ප්‍රකාශයක්.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website