බස්රථ සඳහා නව මාර්ග බලපත්‍ර ලබා දෙන ක්‍රමවේදය ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති හෙළිකරයි

මගී ප්‍රවාහන බස්රථ සහා නව මාර්ග බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ බස්රථ සඳහා බලපත්‍ර ලබාදීමේ නිසි ක්‍රමවේදයක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක නොවූ බවත් නව ක්‍රමවේදය තුළ දේශපාලනඥයින් පසුපස නොගොස් බලපත්‍රය ලබා ගත හැකි බවත්ය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය, “සමාජයේ ලොකු කතිකාවතක් වගේම ලොකු ඉල්ලුමක් තිබෙනවා අලුතින් මාර්ගවලට නව බලපත්‍ර ලබා ගන්නේ කෙසේ ද, කවද ද මේක ලබා දෙන්නේ කියලා. අපි දන්නවා ඉතිහාසය පුරාවටම මාර්ග බලපත්‍ර ලබාදීමේ නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. පාරට අලුතින් බස් රථයක් දානවා නම් ඒ අයදුම්කරුවාට ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් අනුව අදාළ බලපත්‍රය ලබා දෙන්න අපි කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඒ ක්‍රමවේදය අනුව තමයි ඉදිරියේ දී පාරවල් වලට බස් පර්මිට් ලබා දෙන්නේ. ඒ ක්‍රමවේදයේ විනිවිධභාවයක් තිබෙනවා, තමන්ටම ලකුණු ගැන බලා ගන්න පුළුවන්, තමන්ට පර්මිට් එක හිමිවෙනවා ද කියා බලා ගන්න පුළුවන්. මේ හරහා පාරදෘශ්‍යභාවයකින් යුතුව, දේශපාලනඥයා පසුපස යන්නේ නැතිව බස් රථ සඳහා බලපත්‍ර ලබා ගන්න හැකියාව තිබෙනවා.

මේ වන විට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සතුව විධිමත් ලෙස නියමිත මාර්ගයේ ධාවනය වන බස්රථ සඳහා නිකුත් කරන ලද බලපත්‍ර 2493ක් තිබෙනවා. ඒ වගේම බලපත්‍ර සහිතව වෙනත් මාර්ග වල ධාවනය වන බස්රථ මාර්ග බලපත්‍ර 75ක් තිබෙනවා. ඒ අනුව බස්රථ 2568ක් නිකුත් කළ බලපත්‍රවලින් කිසිම ගැටලුවක් නැතිව ධාවනය වෙනවා.

නමුත් අපට තොරතුරු ලැබී තිබෙනවා වාර්තාගත ධවනයෙන් ඉවත් වුණ බස් රථ පර්මිට් 49ක් ගැන. ඔවුන් තමන්ගේ බස් පර්මිට් නිසි පරිදි ජාතික ගමනාගමන භාර දීලා තිබෙනවා. ඒ අනුව දැනට ධාවනය නොවන පර්මිට් 49ක් අප සතුව තිබෙනවා. ඒ වගේම පර්මිට් නිකුත් කළ බස්රථ 308කට මොනවද වුණේ කියලා තොරතුරු නැහැ. අදාළ පර්මිට් භාරදීලත් නැහැ, ධාවනය වෙන්නෙත් නැහැ. ඒ අනුව මාර්ගයේ බස් රථයක් ධානවන නොවන බස්රථ පර්මිට් 357ක් අප සතුව තිබෙනවා.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මේ බස්රථ 357ට ජූනි 30 වැනිදා දක්වා සහන කාලයක් ලබාදීලා තිබෙනවා. අපි ඔවුන්ට කියනවා නිසි පරිදි බස්රථය මාර්ගයේ ධාවනය කරලා පෙන්වන්න මේ දිනයට කලින්. එහෙම කළොත් මේ බස් රථ පර්මිට් ඉදිරියටත් වලංගු කරන්න පුළුවන්. ඔවුන් එසේ නොකළොත්, ජූනි 30 වැනිදායින් පසු අපි මේ බස්රථ බලපත්‍ර ටෙන්ඩර් කරනවා. එවිට කැමැති කෙනෙකුට නියමිත ක්‍රමවේදය අනුව ලකුණු ලබා ගෙන බස්රථ පර්මිට් එක ලබා ගන්න පුළුවන්.

දෙවැනි පියවර ලෙස , දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා අපට යෝජනා ලැබී තිබෙනවා. ඒ යෝජනා ක්‍රමිකව ඇගයීමට ලක්කරලා, එකී මාර්ග සඳහා මගී ඉල්ලුමක් තිබෙනවා නම් ජූනි 17 වැනිදාට පසු එම මාර්ග සඳහා බලපත්‍ර නිකුත් කරන්න අපි ඒවා ටෙන්ඩර් කරනවා.

එසේම තෙවැනි පියවර ලෙස ඇත්තෙන්ම ඉල්ලුමක් තිබෙනවා නම්, අලුතින් පර්මිට් එකක් නිකුත් කළ පසු අදාළ ස්ථානයේ බස්රථ ධාවනය කඩාකප්පල් නොවන බව සහතික කරගත් පසු නව බලපත්‍ර නිකුත් කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website