සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ / Mikhail Murashko මහතාගේ නායකත්වයෙන් යුත් රුසියානු සමූහාණ්ඩුවේ දූත පිරිසක් අද (03) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි හත් දෙනෙකුගෙන් යුත් දූත පිරිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ සහ ජාත්‍යන්තර සෞඛ්‍ය අධ්‍යක්ෂ අනිල් සමරනායක යන මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.
පිළිගැනීමෙන් පසුව, පැමිණි දූත පිරිස සමඟ කෙටි සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙම සංචාරය අතරතුර, රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ සබඳතා ශක්තිමත් කිරීම සඳහා අමාත්‍ය මුරෂ්කෝ සහ ඔහුගේ දූත පිරිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.
වැඩිදුර සාකච්ඡා සඳහා දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට ද නියමිතය.
මීට අමතරව, නියෝජිත පිරිස මැයි 4 වන දින කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය නැරඹීමට නියමිතය. දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට ද සැලසුම් සකස් වෙමින් පවතී.
මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට අපේක්ෂිත සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර අතර ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයින් පුහුණු කිරීම සහ උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව (හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ පාඨමාලා ඇතුළුව), ආයුර්වේදය, ඩිජිටල්කරණය සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ඇතුළත් වේ.
අමාත්‍ය මිහායිල් මුරෂ්කෝගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස සංචාරය අවසන් කර මැයි 5 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.
















