කොළඹට පැමිණීමට අද දිනයේ විශේෂ බස් සහ දුම්රිය සේවා – අධිවේගී මාර්ගයට අමතර බස් සේවා

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා තම ගම්බිම් බලා ගොස් කොළඹට නැවත පැමිණෙන මහජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (19) දිනයේදීත් ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සහන් කළේය.

සති අන්තයේ සහ හෙට දිනයේදී මගීන් විශාල සංඛ්‍යාවක් කොළඹට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, විශේෂයෙන් අධිවේගී මාර්ග සඳහා අමතර බස් සේවා වෙන් කර ඇති අතර මොනරාගල, ඇඹිලිපිටිය, බදුල්ල, බණ්ඩාරවෙල සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලින් විශේෂ සේවා ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

බස් රථවල ගමන් කරන මගීන්ගෙන් වැඩි පුර ගාස්තු අය කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව දැඩිව පියවර ගන්නා බවට ජාතික ප්‍රවාහන කොමිෂමේ මෙහෙයුම් සහ සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ෂෙරීන් අතුකෝරල මහත්මිය පැවසුවාය.

“ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් පැය 24 පුරාම බස් රථ පරීක්ෂාවන් සිදුකරනවා. වැඩි පුර ගාස්තු අය කරන බස්රථවලට එරෙහිව දැනටමත් පියවර ගෙන තිබෙනවා. අනුමත ගාස්තුවට වඩා වැඩි මුදලක් නොගෙවන ලෙස අපි මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම යමෙකුට ගැටලුවක් ඇති වුවහොත් ඔවුන්ට අදාළ ගැටලුව ගැන දැනුම් දීමට 1955 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න පුළුවන්,” ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව අද දිනයේදීත් විශේෂ දුම්රිය ධාවන කිහිපයක් යොදවා ඇති අතර මෙම විශේෂ දුම්රිය අනුරාධපුර, කන්කසන්තුරේ, මාතර සහ බෙලිඅත්ත ප්‍රදේශවලින් කොළඹ දක්වා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website