ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ අල්ලස් කොමිසම විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මේ අතර නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බල ප්‍රදේශය තුළ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ දී ප්‍රාදේශීය සභාව විසින් අනුගමනය කළ යුතු ජාතික රාජ්‍ය සභාවේ නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2021 වර්ෂයේ දී රජයට අයත් ඉඩමක් සඳහා ඉදිකිරීම් සැලසුමක් අනුමත කර අදාළ අයදුම්කරු හට වාසියක් සලසා දීම තුළින් දුෂණය නමැති වරද සිදුකිරීම යන චෝදනාව මත සභාපතිවරයාව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිෂම පවසයි.














