ඉදිරියේ එන ජානීය ජල හිඟයට මුහුණ දෙන්න ජල සම්පාදන මණ්ඩලය ගන්න යන පියවර

පවතින වියළි සහ උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රවල ධාරිතාව පහළ මට්ටමට පැමිණීම නිසා, ඉදිරියේදී ජල කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පැවසීය.

අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව හෙළි කළේය.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර, එමඟින් ඉදිරියේ ඇති විය හැකි අවදානම සැලකිල්ලට ගනිමින් ජල කළමනාකරණ සැලැස්ම සකසා ඇති බව ද සභාපතිවරයා පැවසුවේ ය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසුවේය, “කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ඉදිරි සතිවල වර්ෂාපතනය අඩු විය හැකියි. ඒ හරහා ජල සම්පාදනයේ හැකියාව පහළ යාමක් ද සිදුවෙනවා. එසේම එළඹෙන උත්සව සමය නිසා ජනතාවගේ ජල පරිභෝජනය ද ඉහළ යනවා. මේ තත්ත්වයට මුහුණ දීමට අපි මේ වන විට පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් පිළියන්දල, මහරගම, කැස්බෑව, කොට්ටාව සහ හෝකන්දර යන ප්‍රදේශවල අඩු පීඩන තත්ත්වයන් යටතේ ජල සැපයුම සිදු කරනවා. කෙසේ නමුත් ආරෝග්‍ය ශාලා, පාසල්, විශ්ව විද්‍යාල, රජයේ ආයතන සහ කර්මාන්තශාලා වැනි අත්‍යවශ්‍ය ස්ථාන සඳහා ජල සැපයුම අනිවාර්ය ලෙස ක්‍රියාත්මක කරනවා. එසේම උසස් ස්ථානවල පිහිටි යම් ස්ථාන සඳහා ජල සැපයුම සීමා විය හැකියි. නිවෙස්වල පහළ මහළට පමණක් ජලය සැපයිය හැකියි. මෙම තත්ත්වය යටතේ ජලය නොලැබෙන ස්ථාන සඳහා ජල සම්පාදන මණ්ඩලය මඟින් ජල සැපයුම ලබා දෙනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website