බලශක්තිය ඉතිරි කරගැනීම වෙනුවෙන් පස්වරු 06.00 සිට රාත්‍රී 10 දක්වා වීථි ලාම්පු නිවාදැමීම සම්බන්ධයෙන් පොලීසිය සමඟ සාකච්ඡා කර අදාළ පළාත් පාලන ආයතන ඊට සුදුසු ක්‍රමවේදයක් සකස් කර ගත යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් ඔහු මේ බව හෙළි කළේය.
අපරාධ බහුලව සිදුවන ප්‍රදේශ, හදිසි අනතුරු සිදු වන ප්‍රදේශ වැනි විශේෂ තත්ත්වයන් පවතින ස්ථානවල මෙලෙස වීථි ලාම්පු අක්‍රිය කළ නොහැකි බව පෙන්වා දුන් චන්ද්‍රකීර්ති මහතා ඒ පිළිබඳව පොලීසිය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණයක් ගත යුතු බව ද අවධාරණය කළේය.
මේ වන විට කොළඹ මහනගර සභාවේ වීථි ලාම්පු 12,000ක් තිබෙන බවත් ඉන් ලාම්පු 2000ක් නිවා දැමීමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
එසේම රාජ්‍ය ආයතනවල පස්වරු 3.00 ට වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් පෞද්ගලික ආයතන ද එම පියවර අනුගත විය යුතු බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
රාත්‍රී කාලයේ එළිමහනේ සිදු කරන උත්සවවලදී ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන ඒ සඳහා විකල්ප ක්‍රම භාවිත ලෙස ද ඔහු මහ ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියේය.











