National Fuel Pass: නව සහ වෙනස් කරන ලද මෝටර් රථ සඳහා ඉන්ධන අවසර පත්‍ර නීති රජය පැහැදිලි කරයි

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) සම්බන්ධයෙන් පවතින තාක්ෂණික ගැටලු මේ වන විට සාර්ථකව නිරාකරණය කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව, හෙට (17) පෙරවරුව වන විට පවතින සියලු බාධාවන් ඉවත් කර පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

මෙම නව ලියාපදිංචි කිරීම් සඳහා අවශ්‍ය වන පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයයි.

  • මූලික රිතීන් මොනවා ද ?

අමාත්‍යාංශයට අනුව, ඉන්ධන අවසර පත්‍ර පද්ධතියේ මූලිකම රීතිය වන්නේ එක් ජංගම දුරකථන අංකයක්, එක් ජාතික හැඳුනුම්පතක් සහ එක් වාහනයකි. 2023 දී QR ඉන්ධන පද්ධතිය අත්හිටුවීමෙන් පසු මෙම විස්තර කිසිවක් වෙනස් වී නොමැති නම්, වාහන හිමියන්ට ඔවුන්ගේ QR කේතය අපහසුතාවයකින් තොරව නැවත බාගත කළ හැකිය.

  • අයිතිකරු වෙනස් වූ මෝටර් රථ

වාහන විස්තර වෙනස් වී ඇති මෝටර් රථ හිමියන්ට QR පද්ධතිය අදාළ වන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී ඇති බව පිළිගත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පැවසුවේ, පෙර වාහන වාර්තාවක් පද්ධතිය තුළ සක්‍රීයව පැවතුනහොත් නැවත ලියාපදිංචි කිරීමේදී ව්‍යාකූලත්වයක් ඇති වන බවයි.

මෙය විසඳීම සඳහා, අමාත්‍යාංශය පළාත් මට්ටමින් දත්ත රැස් කිරීම සහ 2023 අගෝස්තු මාසයෙන් පසු නව හිමිකරුවන් වෙත මාරු කරන ලද සියලුම වාහන ඉන්ධන අවසර පත්‍ර පද්ධතියෙන් ඉවත් කිරීම ආරම්භ කර ඇති බව රත්නායක මහතා පැවසුවේය.

“දත්ත නිෂ්කාශන ක්‍රියාවලිය දැනට බස්නාහිර පළාතේ අවසන් අදියරේ පවතින්නේ. ඉතිරි පළාත් ද යාවත්කාලීන කරමින් තිබෙනවා. මෙම ඉවත් කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු පමණක් නව වාහනයක් ලියාපදිංචි කළ හැකියි. පැරණි වාර්තාව මකා දමන තුරු, අලුතින් අත්පත් කරගත් වාහනයක් සඳහා ලියාපදිංචි කිරීම කළ නොහැකියි,” රත්නායක මහතා පැවසීය.

වාහනයක පෙර හිමිකරු සම්බන්ධ කර ගත හැකි නම්, එම පුද්ගලයාට තම ජංගම දුරකථනය භාවිතයෙන් පද්ධතියට ඇතුළු වී වාහන පැතිකඩ මකා දැමීමේ විකල්පය ඇති බවත්, එමඟින් නව හිමිකරුට ලියාපදිංචිය ඉදිරියට ගෙන යාමට ඉඩ සලසන බවත් ඔහු පැවසීය.

  • අලුත් වාහන හිමිකරුවන්

අලුත්ම වාහන හිමිකරුවන් සඳහා වන ක්‍රියාවලිය පැහැදිලි කරමින් රත්නායක මහතා පැවසුවේ, තමන්ගේම නමින් සෘජුවම නව වාහනයක් ලියාපදිංචි කර ඇති අයට, වෙනත් වාහනයක් සඳහා QR කේතයක් මීට පෙර තිබුණේ නම්, ස්වාධීනව සංක්‍රාන්තිය කළමනාකරණය කළ හැකි බවයි.

“අලුතින් මිලදී ගත් වාහනයක් ඔබේම නමින් සෘජුවම ලියාපදිංචි කර ඇත්නම් සහ ඔබ මීට පෙර වෙනත් වාහනයක් සඳහා QR කේතයක් ලබාගෙන තිබේ නම්, ඔබට පෙර QR කේතය ඔබම මකා දැමිය හැකියි. පැරණි දත්ත ඉවත් කළ පසු ඔබට නැවත ලියාපදිංචි වී නව QR කේතයක් ලබා ගත හැකියි.”

  • ජංගම දුරකථන ගැටලු

ඇතැම් මෝටර් රථ හිමියන් නව QR කේතයක් බාගත කිරීමෙන් වළක්වා ඇති ජංගම දුරකථන අංකවල වෙනස්කම් සම්බන්ධ ගැටලු ද විසඳා ඇති බව සුමුදු රත්නායක මහතා පැවසුවේය.

“2023 දී QR කේතයක් ලබා ගැනීමට භාවිතා කළ වාහනය තවමත් එකම හිමිකරු සමඟ ඇති අවස්ථා තිබෙනවා. නමුත් ජංගම දුරකථන අංකය වෙනස් වී ඇති නිසා QR කේතය තවදුරටත් ලබා ගත නොහැකියි” රත්නායක මහතා පැවසීය.

මෙම ගැටලුව විසඳීම සඳහා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එහි ලියාපදිංචි දුරකථන අංකවල දත්ත සමුදාය ජංගම සේවා සපයන්නන් තිදෙනා සමඟ බෙදාගෙන ඇත. විදුලි සංදේශ ක්‍රියාකරුවන් හිමිකාරිත්වය වෙනස් කර ඇති හෝ අක්‍රිය කර ඇති අංක හඳුනාගෙන ඇති අතර, එම වාර්තා දැන් පද්ධතියෙන් ඉවත් කරනු ලැබේ.

“එවැනි සියලුම වාර්තා දැන් පද්ධතියෙන් මකා දමමින් පවතිනවා. මෙම ක්‍රියාවලිය දැනට සිදුවෙමින් පවතින අතර, හැකි ඉක්මනින් එය අවසන් කිරීමට අපි කටයුතු කරනවා” රත්නායක පැවසීය.

මෙම යාවත්කාලීන කිරීම දිගටම කරගෙන යන අතරතුර ඉවසිලිවන්තව සිටින ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

“දත්ත නිෂ්කාශන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු ඉවසිලිවන්තව සිටින ලෙසත් අනවශ්‍ය භීතියෙන් වැළකී සිටින ලෙසත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා” ඔහු තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website