
ලෝකයේ සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ “Travelers’ Choice Awards Best of the Best” ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතර 05 සහ 07 වන ස්ථාන දිනා ගැනීමට මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් සමත් වී ඇත.
ඒ අනුව මිරිස්ස වෙරළ තීරය 05 වන ස්ථානයත් බෙන්තොට වෙරළ තීරය 07 වන ස්ථානය හිමිකරගෙන තිබේ.
දකුණු වෙරළ තීරයේ පිහිටි මිරිස්ස එහි ඇති ස්වභාවික සුන්දරත්වය සහ නිසල ජලය හේතුවෙන් සංචාරක ආකර්ෂණය දිනා ඇති අතර සර්ෆින් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ ස්ථාන සහ Coconut Tree Hill ආශ්‍රිතව නැරඹිය හැකි හිරු බැස යන දර්ශනය ද Tripadvisor හි විශේෂ ඇගයීමට ලක්ව තිබේ.
බෙන්තොට වෙරළ තීරය ජල ක්‍රීඩා සඳහා ලොව සුප්‍රකට ගමනාන්තයක් වන අතර සර්ෆින් සඳහා පවතින පහසුකම් මෙන්ම එහි ඇති සුදු වැලි තලාව සංචාරකයින්ගේ ඉහළම මනාපය දිනා ගැනීමට හේතු වී ඇති බව Tripadvisor වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.
මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය තායිලන්තයේ Banana Beach (Phuket) වෙරළත් දෙවන ස්ථානය ඉන්දුනීසියාවේ Kelingking Beach (Nusa Penida) වෙරළත් තෙවැනි ස්ථානය සහ සිවුවන ස්ථානය පිළිවෙළින් ඉන්දියාවේ Radhanagar Beach (Havelock Island) සහ Palolem Beach (Canacona) වෙරළ තීරයන් විසින් දිනා ගෙන.
Tripadvisor ආයතනය සඳහන් කරන පරිදි “Best of the Best” සම්මානය පිරිනමනු ලබන්නේ සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම ගුණාත්මකභාවය අගය කරමින් වන අතර පසුගිය මාස 12ක කාලය තුළ ලෝකය පුරා සංචාරකයින් ලබාදුන් අතිවිශාල සමාලෝචන ප්‍රමාණය සහ ඔවුන්ගේ ප්‍රසාදය මෙහිදී සැලකිල්ලට ගත් බව Tripadvisor සඳහන් කරයි.












