
ශ්‍රී ලංකාවේ වානිජ ගුවන් ගමන්වලට යොදා ගැනීම සඳහා නව ගුවන් යානයක් මිල දී ගැනීම පිණිස ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියෙකු වන මිත්‍රපාල ලංකේශ්වර මහතා පසුගිය 17 වැනිදා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.
ඒ මහතා මේ වන විටත් රොබින්සන් 66 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදවා තිබේ.
ඇමෙරිකාවේ රොබින්සන් හෙළිකොප්ටර් සමාගම නිපදවන සැහැල්ලු මගී ගුවන් යානයක් මිල දී ගැනීම තමාගේ ඇමෙරිකානු සංචාරයේ අරමුණ බව ද ලංකේශ්වර මහතා මාධ්‍ය වෙත පවසා තිබුණ අතර තමාගේ අනෙකුත් ව්‍යාපාරවලට අමතරව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ආයෝජනය කිරීමට තමා කැමැති බැවින් මෙම ගුවන් යානය මිල දී ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර ප්‍රමුඛ පෙළේ තවත් සහල් මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා ද හෙළිකොප්ටර් යානයක් මිල දී ගැනීමට සූදානම් බව වාර්තා වේ. ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය දා රෝල්ස් රොයිස් වර්ගයේ සුඛෝපභෝගී විශේෂ මෝටර් රථයක් රුපියල් කෝටි 70කට මිල දී ගත් බවත් වාර්තා විය.
මේ වන විට ශ්‍රී ලංකා රජය ද අභ්‍යන්තර ගුවන් ගමන් සේවා පුළුල් කිරීමට පියවර ගෙන ඇතැයි ගුවන් සේවා ආරංචි පවසයි.















