ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් සනිටුහන් කරමින්, සමකාලීන ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව දිස්ත්‍රික්ක 25 පුරා පිහිටි කාර්මික විද්‍යාල 25ක් සංවර්ධනය කර නවීකරණය කිරීමට රජය තීරණය කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා එක්ව පෙබරවාරි 06 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ මෙම සංවර්ධන මුලපිරීම් වෘත්තීය කුසලතා සැපයීමට පමණක් සීමා නොවිය යුතු බවත්, තරුණයින්ගේ මානසික සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්ම කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කළ යුතු බවත්ය.
ඒ අනුව, නවීන නේවාසිකාගාර, ආපනශාලා සහ සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කිරීමේ වැදගත්කම, මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කරන අතරම විනෝදාත්මක හා සෞන්දර්යාත්මක අත්දැකීම් ලබා දෙන ආකාරයෙන් අභ්‍යන්තර හා බාහිර පරිසරයන් සැලසුම් කිරීම සහ අනෙකුත් අධ්‍යාපන ආයතනවලින් වෙන්ව, අද්විතීය ආයතන ලෙස පැහැදිලිව හඳුනාගත හැකි වන පරිදි සෑම තාක්ෂණික විද්‍යාලයක් සඳහාම සුවිශේෂී අනන්‍යතාවයක් වර්ධනය කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
ජාතික සංවර්ධනයට අවශ්‍ය මානව සම්පත් වැඩිදියුණු කිරීම සඳහා කාර්මික විද්‍යාල 23ක සංවර්ධන කටයුතු නුදුරු අනාගතයේ දී ආරම්භ කළ හැකි බව සාකච්ඡාවේදී අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසීය. මෙම ඉදිකිරීම් සහ නවීකරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වය සහ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගී වූහ.












