නුගේගොඩ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී ඊයේ (30) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කිහිප දෙනෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වූ සිද්ධියක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අද (31) දැඩි ලෙස හෙළා දකිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිපියක් යවමින්, නීතිඥ සංමගමය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා තිබේ.
නීතිඥ සංගමය සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසින් අත්සන් කරන ලද ලිපියේ අවධාරණය කර ඇත්තේ, මෙම සිදුවීම නිසි නීති ක්‍රියාවලියට බාධා කරන අතර නීතිඥවරුන්ගේ වෘත්තීය රාජකාරි ස්වාධීනව ඉටු කිරීමට සෘජු තර්ජනයක් එල්ල කරන බැවින් එය බරපතල කනස්සල්ලට කරුණක් බවයි. එවැනි ක්‍රියාවන් භයානක පූර්වාදර්ශයක් සපයන අතර රට තුළ යුක්තිය පසිඳලීම සෘජුවම අඩපණ කරන බවට එය අනතුරු ඇඟවීය.
නීතිඥ සමඟයට අනුව, අදාළ නඩුවේ අගතියට පත් පාර්ශවයන් ලෙස පෙනී සිටින පුද්ගලයින් පිරිසක් විසින් නීතිඥවරුන්ට පහර දී ඇති අතර මේ දක්වා චෝදනා එල්ල වූ සැකකරුවන් අත්අඩංගුවට ගෙන හෝ අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය බරපතළ කනස්සල්ල පළ කළේය.
නීතිඥවරුන්ට බියෙන්, බිය ගැන්වීමෙන් හෝ තර්ජනයකින් තොරව තම සේවාදායකයින් නියෝජනය කිරීමට හැකි විය යුතු බව නීතිඥ සංගමය නැවත අවධාරණය කළ අතර, නීති වෘත්තියේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා බලධාරීන් විසින් අවශ්‍ය සියලු පියවර ගනු ඇතැයි විශ්වාසය පළ කළේය.












